අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහොය අදයි.
ලක්දිව බුදු සසුනේ ආරම්භයත්, බෞද්ධ ශිෂ්ටාචාරයේ පදනම සකස් වීමත්, සිදු වූයේ අද වැනි දිනක බව, ශාසන ඉතිහාසයේ සඳහන්.
දෙවැනි පෑතිස් රජු ඇතුළු 40,000 ක පමණ පිරිසකට චුල්ලහත්ථිපදෝපම සූත්රය සහ දෙවියන්ට සමචිත්තපරියාය සූත්රය දේශනා කිරීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් පොසොන් පොහෝ දිනය හා බැඳී පවතිනවා.
මිහිඳු මහ රහතන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් රජු ඇතුළු ලක්වාසීන් තිසරණ සහිත පංචශීලය සමාදන්ව, බෞද්ධයන් බවට පත්වුණා.
ඒ සමග සමාජ සාරධර්ම, ආර්ථිකය, ජනතා සිතුම් පැතුම් හා ආකල්ප පෝෂණය වූයේ නව චින්තනයක් ඔස්සේයි.
සමාජයේ තිර පැවැත්මට මහෝපකාරි වන දර්ශනයක් රටේ ස්ථාපනය වූයේ ද මෙම චින්තන විප්ලවයත් සමගයි.
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල අද උදෑසන සිට විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.
