සාවද්‍ය පුවතක් සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්ලිව්.එච්.අතුල තිලකරත්න නමැති අයෙකු නිදහස් කර ඇතැයි, පළව ඇති පුවත් පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, මේ පිළිබඳව ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තියට අනුව, සිරකරුවන්ට පොදු සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමි වනවා. ඒ අනුව, බන්ධනාගාර අධිකාරිවරුන් විසින් තෝරා ගනු ලබන සිරකරුවන්ගේ නාම ලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කෙරෙනවා.

එම ලේඛනය අධිකරණ අමාත්‍යාංශය මගින් පරීක්ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරනු ලබන අතර, ඒ අනුව, ජනාධිපතිවරයාගේ අනුමැතිය මත එම සිරකරුවන්ට පොදු සමාව හිමි වනවා. 2025.05.06 දින බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාම ලේඛනය නම් 388 කින් සමන්විත වූ අතර, ජනාධිපතිවරයා විසින් අනුමැතිය දෙන ලද නම් 388ට එම පුද්ගලයා කිසිසේත්ම ඇතුළත්ව නොමැති බවයි, ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

මෙම සිදුවීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස, ජනාධිපති ලේකම් කාර්යාලය ”ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව” යන ශීර්ෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණිල්ලක් කරනු ලැබුවා.


මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමත්, වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමත් ඉදිරියේදී සිදු වනු ඇති බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.