නාරාහෙන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගේ නිල මැදිරිය තුළ කැඳවනු ලැබුවා.
එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා මෙන්ම පොලිස් රැඳවුම් භාරයේ සිටි තවත් සැකකරුවන් තුන්දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරුවන් පස්දෙනා සහ සැකකාරිය මෙම අපරාධයට දායක වී ඇති බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇතැයි පැවසුවා.
මෙම සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම සිද්ධියට පෙර තුසිත හල්ලොලුව විසින් භාවිතා කළ ජංගම දුරකථනය ලබා දෙන ලෙස ඉල්ලීම් කළත් එම දුරකථනය මෙතෙක් භාරදී නොමැති බවත් පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කර සිටියා.
