පසුගිය 8 වැනිදා දිවයිනට දකුණු ගැඹුරු මුහුදු තීරයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ මිල රුපියල් කෝටි දහසක් බව පොලිස් මත්ද්‍රව්‍ය කාශක කාර්යාංශය පවසනවා.
නාවික හමුදා භාරයට ගැනුණු සැකකරුවන් 10 දෙනෙකු හා ධීවර යාත්‍රා දෙක ද මත්ද්‍රව්‍ය තොගය ද අද පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබුවා.
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.
එහිදී එක් ධීවර යාත්‍රාවක පොහොර උර 48 ක බහා තිබූ අයිස් සහ හෙරොයින් ග්‍රෑම් 600 ක් සහ ගිනි අවි නාවික හමුදාව සිය භාරයට ගනු ලැබුවා.
එම්.16 වර්ගයේ ගිනි අවියක්, ටී-56 ගිනි අවි දෙකක්, පිස්තෝල 8 ක් සහ ඊට භාවිත කරන මැගසින් කිහිපයක් ඒ අතර වනවා.
මෙම ජාවාරම සඳහා ඔත්තු බැලීම සහ අනුබල දීම යන චෝදනා යටතේ අනෙක් ධීවර යාත්‍රා ද නාවික හමුදා භාරයට ගැනුණා.
එම යාත්‍රාවේද සන්නිවේදන උපකරණ කිහිපයක් තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ.
