පාසල් තුළ ඩෙංගු, චිකන්ගුන්යා වැළැක්වීමට නව උපදෙස් මාලාවක්

පාසල් තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය සඳහා කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ උපදෙස් පත්‍රයක් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව සියලු පාසල් පරිශ්‍රය මදුරුවන් බෝ නොවන පරිදි පවත්වාගෙන යාම සඳහා පාසල් අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන පරිදි සුදුසු අභ්‍යන්තර වැඩපිළිවෙළක් සකස්කර ක්‍රියාත්මක කිරීමට එමගින් යෝජිතයි.

එමෙන්ම ප්ලස්ටික් , පොලිතීන් ආදී නොදිරන අපද්‍රව්‍ය පාසලට රැගෙන නොඑන ලෙස දැනුවත් කිරීම සහ නිසි පරිදි බැහැර කිරීමට ක්‍රමවේද සකස් කර ගන්නැයි උපදෙස් පත්‍රිකාවේ සඳහන්.

පාසල් පරිශ්‍ර තුළ අඩක් නිම කළ ගොඩනැගිලි, වහල නොමැති ස්ලැබ් ආදී ජලය එක්රැස් වන ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන ලෙස දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරු, පිරිවෙන් පරිවේනාධිපතිවරුන්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරු සහ පළාතේ අනෙකුත් අධ්‍යාපන මධ්‍යස්ථාන හා කාර්යාල ප්‍රධානීන් දැනුම්වත්කර ඇත.

ඒ අනුව, පාසල්වල විටින්විට සිදුකෙරෙන පරික්ෂාවලදී එම පරිශ්‍ර තුළ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි මට්ටමේ ස්ථාන වාර්තා වුවහොත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වුවද ගතහැකි බවද එහි වැඩිදුරටත් සඳහන් කරවනවා.

2025 මැයි 31 වැනිදා දක්වා විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 5ත් 19ත් අතර පාසල් සිසුන් බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ඒ අනූව, පාසල් අවට ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනය ඉතා වැදගත් බවයි, සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ.