ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා ‘ඒ’ එක්දින තරගාවලිය අද සිට

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා ‘ඒ’ කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ පිහිටි ඩාර්වින් නුවර මරාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (4) ආරම්භ වෙයි.

දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මේ තරගය මෙරට වේලාවෙන් පෙරවරු 1.00ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා පිල ළහිරු උදාරගේ නායකත්වයෙන් තරගයට එක්වන අතර, ඔස්ට්‍රේලියානු ‘ඒ’ පිලට මැතිව් රෙන්සෝ නායකත්වය දෙයි. ටෙස්ට් තරග දෙකක් සහ විස්සයි20 තරගයක් ක්‍රීඩා කර ඇති උදාර තවමත් ජාත්‍යන්තර එක්දින තරග වරම් දිනා නැති අතර, රෙන්සෝ ද තවමත් ජාත්‍යන්තර එක්දින තරග වරම් දිනා නැත. ඔහු ජාතික ටෙස්ට් පිල නියෝජනය කරමින් තරග 14ක් ක්‍රීඩා කර තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග වරම් දිනාගත් නුවනිඳු ප්‍රනාන්දු (5), සහන් ආරච්චිගේ (5), චමිඳු වික්‍රමසිංහ (4), ප්‍රමෝද් මදුෂාන් (9), මොහොමඩ් ශිරාස් (2) සහ දුෂාන් හේමන්ත (5) මේ සංචිතයට ඇතුළත්ව සිටිති.

එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ළහිරු උදාර තරගාවලියට පිටත්ව යෑමට පෙර මේ සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ හොඳ සූදානමකින් සිටින බැවින් තරගාවලිය ජය ගත හැකි වනු ඇති බවයි.

“අපි හොඳට පෙර සූදානමක් තියෙනවා. ඒ කණ්ඩායමේ විදෙස් සංචාර කිහිපයකට ක්‍රීඩා කළ හොඳ තරුණ කණ්ඩායමක් සිටිනවා.

කණ්ඩායමක් ලෙස තරගාවලිය ජය ගැනීමට බලාපොරොත්තු වෙනවා.” ළහිරු උදාර පැවසීය.

උදාර ‘ඒ’ කණ්ඩායමේ නායකත්වයට පත්වූ පළමු අවස්ථාව මෙයයි. ඒ සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ “නායකත්වය ලොකු අභියෝගයක්. මට පුළුවන් විදියටම කණ්ඩායමට ඒ දේ ලබා දෙනවා. ක්‍රීඩා සමාජ මට්ටමෙන් නායකත්වය දැරුවත් මේ පළමු වතාවට නායකත්වය දරන්නේ.”

ශ්‍රී ලංකා පිලට මෙන්ම ඔස්ට්‍රේලියානු පිලටත් හොඳ පළපුරුදු ක්‍රීඩකයන් රැසක් සිටින බැවින් හොඳ තරගාවලියක් දැකබලා ගැනීමට හැකි වනු ඇතැයි ළහිරු පැවසීය.

කණ්ඩායම් ක්‍රීඩකයන් හොඳින් දස්කම් අතරට ගෙන එමින් ඔවුන් ඉදිරියට ගෙන යෑම තම කාර්යය බවත්, ඒ තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩකයන් රැසක් ලබාදීම තම අරමුණ බවත් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අවිශ්ක ගුණවර්ධන පැවසීය.