පසුගිය 13 වන දින තලංගම අකුරේගොඩ ප්රදේශයේදී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
මින් පෙර බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මඟින් සහ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් අපරාධයට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
අපරාධයෙන් පසු එක් වෙඩික්කරුවෙකු මොණරාගල ප්රදේශය දක්වා බස් රථයකින් ප්රවාහනය කර අපරාධයට ආධාර අනුබල දිම සම්බන්ධයෙනුයි සැකකරුවන් දෙදෙනෙකුයි මෙලෙස ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් අවුරුදු 39 හා 53 වයස්වල පසුවන ඉබ්බාගමුව හා මාකොළ ප්රදේශවල පදිංචිකරුවන් වේ.
එක් සැකකරුවෙකු විසින් දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද මුදලින් මිලට ගත් බස් රථයකින් වෙඩික්කරු ප්රවාහනය කර ඇති බවට අනාවරණ වී ඇති අතර අදාල බස් රථය විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
