අභිනව පාප් වහන්සේ අමෙරිකාවෙන්

නව පාප් වහන්සේ ලෙස රොබට් ප්‍රෙවොස්ට් පියතුමන් තේරීපත්ව සිටිනවා.

උන්වහන්සේගේ පාප් නාමය ලෙස තෝරාගෙන ඇත්තේ 14 වන ලියෝ නාමයයි.

උන්වහන්සේ කතෝලික පල්ලියේ නායකයා ලෙස තේරීපත් පළමු අමෙරිකානු පාප් වහන්සේ ලෙසයි හැඳින්වෙන්නේ.

ශුද්ධෝත්තම පියතුමන් තෝරාපත් කර ගනු ලැබු බව වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේ රැදී සිටි දහස් සංඛ්‍යාත බැතිමතුන් වෙත දැනුම් දෙනු ලැබුවේ සිස්ටයින් දේවස්ථානයේ වහලයේ දුම් කවුළුවෙන් සාම්ප්‍රදායානුකූලව සුදු දුමාරය නිකුත් කරමින්.

එම සුභ පණිවුඩය සැලවීමත් සමඟ වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයට රැස්ව සිටි බැතිමතුන් සතුට සමරනු ලැබුවා.

පසුව කාදිනල්වරයෙකු ශාන්ත පීතර බැසිලිකාවේ සදලුතලයට පැමිණ, සාම්ප්‍රදායික ලතින් භාෂාවෙන් අපට පාප් වහන්සේ කෙනෙකු ලැබුණු බව ප්‍රකාශයට පත්කළා.

69 හැවිරිදි රොබට් ප්‍රෙවොස්ට්තුමන්, නව පාප්වහන්සේ ලෙස තේරීපත්වීමෙන් පසු ජනතාව ඉදිරියේ පෙනී සිටියේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ සදලුතලයේ සිටයි.

ඔබ සැමට සාමය ලැබේවායි උන්වහන්සේ රැස්ව සිටි ජනතාව අමතා ආශිර්වාද කළ අතර ප්‍රීති ඝෝෂා නඟමින් ජනතාව විසින් උන්වහන්සේ පිළිගනු ලැබුවා.