“අභියෝගය” එළි දකී

“අභියෝගය” කෘතිය නවීන ලෝකයේ අභියෝග, ධෛර්ය සම්පන්න බවේ වටිනාකම සහ නව්‍යකරණය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීමට වැදගත් හා කාලෝචිත දායකත්වයක් සපයන අතර, අධ්‍යාපනය, පර්යේෂණ සහ සමාජ පරිවර්තනය සඳහා වටිනා දෘශ්ටි පරාසයක් පෙන්වාදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ දෙපාර්තමේන්තු ප්‍රධානී මහාචාර්ය සුරංග නානායක්කාර විසින් රචිත “අභියෝගය” කෘතිය එළිදැක්වීමේ උත්සවයට සහභාගී වෙමින් ඊයේ (28) දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) ලෝටස් ශාලාවේදී අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

එම කෘතිය නවීන ගෝලීය සහ පුද්ගලික අභියෝග, නව්‍යකරණය සහ ධෛර්ය සම්පන්න බවේ වැදගත්කම පිළිබඳ විමර්ශනාත්මක අදහස් ඉදිරිපත් කරමින්, ශාස්ත්‍රීය අත්දැකීම් සහ ගෝලීය අනාවරණ මත පදනම් වූ සිත්ගන්නාසුළු දෘෂ්ටි පරාසයක් පාඨකයන්ට පෙන්වා දෙයි. මෙම ප්‍රකාශනය සහ එහි ඉංග්‍රීසි අනුවාදය උත්සවයේදී අග්‍රාමාත්‍යවරියට පිරිනැමීම සිදුකරන ලදී.

මෙම වැදගත් පොත් ප්‍රකාශනය වෙනුවෙන් කතුවරයාට සුබපැතුම් එක් කරමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ මෙවැනි ශාස්ත්‍රීය කෘති අනාගත පරම්පරාව, විශේෂයෙන්ම ශිෂ්‍යයන් සහ තරුණ පර්යේෂකයන් සදහා, විචාරාත්මකව සිතීමට, අභියෝගයන් භාර ගැනීමට උත්ප්‍රේරනය කරන බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී හා විමර්ශනාත්මක අධ්‍යාපන පරිසරයක් ගොඩනැගීමට දැනුම බෙදාගැනීම සහ නව්‍යකරණය අත්‍යවශ්‍ය බවත් ඇය අවධාරණය කළාය.

ශිෂ්‍යයන් සහ අධ්‍යාපන ආයතන වෙත මෙම කෘතියේ පිටපත් 5,000 ක් නොමිලේ බෙදාහැරීමේ වැඩසටහන ද අග්‍රාමාත්‍යවරිය විසින් ආරම්භ කරන ලද අතර, දැනුම පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ලබාදීමේ වැදගත්කමද මෙහිදී ඉස්මතු කරන ලදී.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා,මහාචාර්ය සුරංග නානායක්කාර මහතාගේ පවුලේ සාමාජිකයන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරු, මහාචාර්යවරු සහ ආචාර්යවරු, අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, පාසල් විදුහල්පතිවරු, ශිෂ්‍යයන් සහ ආරාධිත අමුත්තන් සහභාගී වූහ.