අමෙරිකානු-ඉරාන යුධ ගිනි නිවන්න පාකිස්තානය මැදි වෙයිද ?

එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම් නිරාකරණය කරගැනීම සඳහා වන සාකච්ඡාවලට සත්කාරකත්වය දැරීමට තමන් සූදානම් බව පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (24) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කළේ, කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් ඕනෑම මට්ටමක සාකච්ඡාවකට පහසුකම් සැලසීමට පාකිස්තානය ගෞරවයෙන් බැඳී සිටින බවයි.

දැනට පවතින වාර්තාවලට අනුව, පාකිස්තානයේ සත්කාරකත්වයට ඉරාන-අමෙරිකානු පාර්ශව එකඟ නම් එම සාකච්ඡා සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, ඇමරිකානු නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර් සහභාගී වීමට නියමිත බව පවසනවා.

කෙසේ වෙතත්, ඉරානය තවමත් පවසන්නේ තමන් අමෙරිකාව සමඟ කිසිදු සෘජු සාකච්ඡාවකට එක් නොවන බවයි.

කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් පාකිස්තානය මෙලෙස මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට කැමැත්ත පළ කිරීම ජාත්‍යන්තර දේශපාලනයේ විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.