ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ලබන සතියේ ඇමෙරිකාවේ ඇලෙස්කා ප්‍රාන්තයේදී හමුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නායකයින් දෙදෙනා එහෙදී දීර්ග වශයෙන් යුක්රේන රුසියානු යුද්ධය නිමා කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි දෙරටේ බලධාරීන් පවසන්නේ. අගෝස්තු 15 වන දින පැවැත්වීමට නියමිත දෙරටේ නායකයින්ගේ හමුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කරන තිබෙනවා. රුසියාවේ ක්‍රෙම්ලිනය ද මෙම හමුව තහවුරු කර තිබෙනවා.
රුසියාවට ආසන්නව ඇලෙස්කා ප්රන්තා පිහිටුවා ඇති බැවින් එහිදී සාකච්ඡා පැවැත්වීම උචිත බවයි රුසියානු නිලධාරීන් පවසන්නේ. සටන් විරාම සාකච්ඡා සහ එහි කොන්දේසි දෙරටේ නිලධාරීන් මාධ්‍යට අනාවරණය කර නැහැ. එහෙත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙම සංකීර්ණ ගැටලුව විසදා ගැනීම සඳහා යුක්රේනය සහ රුසියාව සැලකිය යුතු භුමි ප්‍රදේශ හුවමාරු කර ගැනීමට සිදුවන බවයි. ඇමරිකානු සහ රුසියානු නායකයින් අතර සැලසුම් සහගත සාකච්ඡාව සම්බන්ධයෙන් යුක්රේනය තවමත් ප්‍රතිචාර දක්වා නැහැ.
සාමය උදා කිරීම සඳහා කොන්දේසියක් ලෙස කිසිදු භූමි ප්‍රදේශයක් රුසියාව සමග හුවමාරු කිරීමට ලැබුණු යෝජනා සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මිට පෙර කිහිපවරක්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇලස්කා සමුළුව සඳහා සැලසුම් දැනටමත් සකස් කරමින් පවතින බවත්, යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිට එයට සම්බන්ධ විය හැකි බව ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බිබිසී මාධ්‍යට අදහස් දක්වා තිබෙනවා.
2022 වසරේදී යුක්රේන – රුසියානු යුද්ධය ආරම්භ වීමෙන් පසු ඇමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් අතර මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව මෙය වනු ඇති. මීට පෙර ඇමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් රුසියානු ජනාධිපති පුටින් සමග 2021 වසරේදී සාකච්ඡා පැවැත්වූවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මීට පෙර රුසියානු නායකයා හමු වුයේ 2019 වසරේදී වන අතර, ඒ ඔහු එකල ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ලද කාල සීමාවේදී.
