අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇත්තටම මොකද වුණේ ?

අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශවී නොමැති බවට පළවන වාර්තා ධවල මන්දිරය ප්‍රතික්‍ෂේප කරනවා.

එහෙත්, පෙන්ටනය පවසන්නේ, එම ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන තාවකාලිකව අඩපන කිරීමට හැකිවූ බවයි.

ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ නොවූ බවත් එය මාස කිහිපයකට පමණක් ප්‍රමාද වූ බවත් පෙන්ටගනයේ ආරක්ෂක බුද්ධි ඒජන්සිය මගින් අනාවරණය කර ගෙන ඇතැයි බිබිසි මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් ධවල මන්දිරය පවසන්නේ, එම බුද්ධි තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

මුල් බුද්ධි තක්සේරුවට අනුව, ඉරාන යුරේනියම් තොගය විනාශ නොවූ බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයට පෙර යුරේනියම් බොහොමයක් න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලින් ඉවත් කර ගෙන ඇති බවයි එම බුද්ධි නිලධාරීන් අනාවරණය කරන්නේ.

භූගත න්‍යෂ්ටික පහසුකම්වලට හානි සිදුවී නොමැති බවද ඔවුන් සදහන් කරනවා.

මාස කිහිපයක් ඇතුළත එහි න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නැවත ආරම්භ කළ හැකි බවද ඔවුන් බිබිසී මාධ්‍යට ප්‍රකාශ කොට තිබෙනවා.

ධවල මන්දිරය එම අනාවරණය ප්‍රතික්ෂේප කළ අතර, එය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපකීර්තියට පත් කිරීමේ උත්සාහයක් ලෙසත් හඳුන්වා තිබෙනවා.

ජනාධිපතිවරයා කියා සිටියේ ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.