අමෙරිකාවේ ගුවන් යානා බිමට

එක්සත් ජනපදයේ අයවැය අර්බුදය හේතුවෙන් එරට ගුවන් ගමන් වලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මේ වනවිට අභ්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන ඇති බවයි.

එක්සත් ජනපදයේ සති කිහිපයක සිට පවතින අයවැය අර්බුදය හේතුවෙන් එරට රජය වසා දැමීමකට ලක්ව තිබෙනවා. එම නිසා රාජ්‍ය සේවය අකර්මන්‍ය වී ඇති අතර රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමද නවතා ඇති බව සඳහන්.

එක්සත් ජනපද ගුවන් සේවා අධිකාරිය එරට සාමාන්‍ය ගුවන් ගමනාගමනය ආරක්ෂිතව හැසිරවීමට තරම් ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති බැවින් අභ්‍යන්තර ගුවන් ගමන් සංඛ්‍යාව අවම කරන ලෙස ගුවන් සමාගම්වලට දැනුම් දී තිබෙනවා.

බලධාරීන් පවසන්නේ සති ගණනාවක සිට වැටුප් නොමැතිව සේවය කරන අත්‍යවශ්‍ය සේවකයින් මත පීඩනය අවම කිරීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බවයි.

ජාත්‍යන්තර ගුවන් ගමන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට එක්සත් ජනපද ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

පවතින අර්බුදය හමුවේ සිය ගමනාන්ත වෙත යාමට නොහැකිව ඇති ගුවන් මගීන් දිගු පෝලිම්වල රැදී සිටිනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ අවලංගු කරන ලද ගුවන් ගමන්වලට අදාළව මගීන් විසින් ගෙවන ලද ටිකට් පත් වල මුදල් නැවත ඔවුන් වෙතා ලබා දීමටද ගුවන් සමාගම් කටයුතු කරමින් සිටින බවයි.

අයවැය අර්බුදය ඉදිරියටත් පැවතුණහොත් ඉදිරි දිනවල රට තුළ අභ්‍යන්තර ගුවන් ගමන් සියයට 20ක් පමණ නතර වනු ඇති බවටයි එක්සත් ජනපද ප්‍රවාහන ලේකම්වරයා අනතුරු අඟවා ඇත්තේ.