අමෙරිකාවේ රාජ්‍ය කටයුතු අඩපණ වෙයි

අමෙරිකානු ඉතිහාසයේ දීර්ඝතම රාජ්‍ය කටයුතු වසා දැමීම මේ වන විටත් ක්‍රියාත්මකයි.

අද වන විට දින 40 ක් රාජ්‍ය කටයුතු අර්ධ වෂයෙන් අඩපණ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, මෙම තත්වය මගහරවා ගැනීම සඳහා ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙක අතර මූලික එකඟතාවක් ඇති කරගත් බවයි.

එය සාර්ථක වුවහොත්, ඉක්මණින්ම ඊට ඡන්දයක් පැවැත්වීමට කටයුතු කරනු ඇති.

රාජ්‍ය කටයුතු වසා දැමීම හේතුවෙන් අමෙරිකාවේ මහජන සේවාවන්ට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

ඒ හේතුවෙන් ගුවන් ගමන් දෙදහසකට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුව ඇති අතර, තවත් ගුවන් ගමන් අටදහසකට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද වී තිබෙනවා.

මීට අමතරව, හත්ලක්ෂ පනස්දහසක් පමණ වන රාජ්‍ය සේවකයින්ගේ රැකියාද අර්බුදයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

පසුගිය ඔක්තෝබර් පළමුවැනිදා ආරම්භ වූ මෙම අර්බුදය විසඳා ගැනීමට මේ වන විට 14 වතාවක් ඡන්දය පවත්වා ඇති නමුත්, ඒ සියල්ල අසාර්ථක වුණා.