අමෙරිකාවේ වෙඩි තැබීමකින් සිව් දෙනෙක් මරුට

අමෙරිකාවේ නිව්යෝර්ක්හි කාර්යාල මහල් ගොඩනැගිල්ලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා. මිය ගිය අය අතර පොලිස් නිලධරියෙකු ද සිටින බවයි, මාධ්‍ය වාර්තා කරන්නේ. තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව, විදෙස් මාධ්‍ය පවසනවා.

තුවක්කුකරු, වෙඩි තැබීම් මාලාවක් සිදුකර ඇති අතර, පසුව, ඔහු විසින්ම තමාටම වෙඩි තබා, සිය දිවි හානි කර ගෙන ඇති බවයි, වාර්තා වන්නේ. මේ වන විට සිද්ධිය සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව, නිව්යෝර්ක් විශේෂ පොලිස් කොමසාරිස්වරයා ප්‍රකාශ කරනවා.

ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් තර‍ කර ඇති අතර, විශේෂ විමර්ශන කටයුතු සඳහා සහාය වීමට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සූදානම් බව, ප්‍රකාශ කරනවා. නිව්යෝර්කි පොලිස් දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දී ඇත්තේ, ප්‍ර‍දේශයට පැමිණීමෙන් වළකින ලෙසයි.