අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වෙයි

අමෙරිකා එක්සත් ජනපදය, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර තිබෙනවා.

ඒ සමග ගෝලීය සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ නව අවධානයක් යොමු වී ඇති අතර, ජාත්‍යන්තර සෞඛ්‍ය සහයෝගීතාවයට ඉන් ඇති විය හැකි බලපෑම් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඉදිරි‍යේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාමාජික හෝ නිරීක්ෂක මට්ටමින්වත් සම්බන්ධ නොවන බවත්, මහජන සෞඛ්‍ය සහ රෝග නිරීක්ෂණ කටයුතු සඳහා සෘජුවම වෙනත් රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

අමෙරිකාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙමින් තිබූ සියලු මූල්‍ය දායකත්වයද නවතා දැමීමටයි, පියවර ගෙන ඇත්තේ.

මේ හේතුවෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ දැඩි මූල්‍ය අර්බුදයක් හට ගෙන ඇති අතර, වියදම් කප්පාදුව හා සේවක සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති බව ද සඳහන්.

මෙවැනි පියවරයන් මගින් අනාගත සෞඛ්‍ය අවදානම් හඳුනා ගැනීම සහ ප්‍රතිචාර දැක්වීමේ ජාත්‍යන්තර හැකියාව දුර්වල කළ හැකි බවට, ගෝලීය සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය හා සම්බන්ධ තීරණය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබ ඇත්තේ, 2025 වසරේදී.

වසරක නිල දැනුම්දීමේ කාලසීමාවකින් පසුව, එය මේ වසරේ නිල වශයෙන් බලාත්මක කිරීම සිදු කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමස්ත අයවැයෙන් 15%ක්, එනම්, වසරකට ඩොලර් මිලියන 400ත් 500ත් පමණ ප්‍රමාණයක් සපයනු ලැබුවේ අමෙරිකාව විසින්.

මෙම අරමුදල් අත්හිටුවීම නිසා ලොව පුරා ක්‍රියාත්මක එන්නත්කරණ සහ බෝවන රෝග මර්දන වැඩසටහන් දැඩි අර්බුදයකට ලක්වීමේ අවදානමක් පවතින බව, විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

අමෙරිකාව පවසන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වුවද, තමන් වෙනමම ජාත්‍යන්තර සෞඛ්‍ය ඒකකයක් ඔස්සේ මිත්‍ර රටවල් සමඟ සෘජුව සෞඛ්‍යමය සහයෝගිතාවන් පවත්වාගෙන යන බවයි.