අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කළ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය රිමාන්ඩ්

අල්ලස් කොමිසමේ නිලධාරියෙකුට හා නිලධාරිනියකට මරණීය තර්ජන එල්ල කළේ යැයි කෙසෙල් වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේශී විජේරත්න මහත්මියගේ දියණිය වන හේමාලි විජේරත්න නමැත්තිය  මේ මස 09 වනදා දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම සැකකාරියගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාකාර නිලධාරීන්ට නියම කළා.

කෙසෙල් වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කළා. 

එහිදී කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් 04 වනදා අධිකරණ භූමිය තුළ නඩු විභාගයක් අවසන් වී පිට වී යන අල්ලස් කොමිසමේ නිලධාරිනියකට සහ නිලධාරියෙකුට මෙම සැකකාරිය විසින් “මරනවා” යනුවෙන් තර්ජනය කර තිබෙන බව සඳහන් කළා. 

රාජකාරිය නිමවා යන  නිලධාරීන්ට මේ ආකාරයෙන් තර්ජන එල්ල කිරීම දණ්ඩ නිති සංග්‍රහයේ 347 සහ 486 යන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවත් ස්ථානාධිපතිවරයා සඳහන් කළා. 

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව සැකකාරිය මෙම තර්ජනය එල්ල කර තිබෙන බවත් ඒ තුළින් සමාජයට වැරදි පූර්වාදර්ශයක් ඇති නොවිය යුතු බවත් ස්ථානාධිපතිවරයා පැවසුවා.

මෙම සිද්ධියට අදාළව සීසී ටීවී දර්ශන ලබාගෙන ඉදිරි විමර්ශන සිදුකිරීමට අවශ්‍යව තිබෙන බැවින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ස්ථානාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

ඉන් අනතුරුව සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකාරිය 21 වන වියේ පසුවන අතර ඇය ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබීමෙන් පසුව විදේශගතව අධ්‍යාපනය ලබන තැනැත්තියක් බව කියා සිටියා. 

ඇයට සිංහල භාෂාව හැසිරවීම අපහසු බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.

මෙවැනි තර්ජනය කිරීමේ සිද්ධියක් කිසිසේත්ම ඇති නොවූ බවත් එම අවස්ථාවේ දැඩි ආතතියකට ලක්ව සිටි මෙම සැකකාරිය ” මම මැරෙනවා” යනුවෙන් ප්‍රකාශ කර ඇතැයි කී ජනාධිපති නීතිඥවරයා අල්ලස් කොමිසමේ නිලධාරින් එය වැරදි ලෙස වටහා ගෙන තිබෙන බවත් පැවසුවා. 

මෙම සිද්ධිය පිළිබඳව මාධ්‍යවලින් දැනගත් විගස තම සේවා දායිකාව කුරුඳුවත්ත පොලිසියට ගොස් සවිස්තර ප්‍රකාශයක් ලබා දුන් බවත් මෙවැනි සිද්ධියක් සිදු වුණේ නම් ඒ සම්බන්ධයෙන් ඇය සමාව භජනය කරන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා. 

අල්ලස් කොමිසමට හෝ අධිකරණයට තර්ජනය කිරීමේ චේතනාවක් තම සේවා දායිකාව තුළ නොමැති බවත් ඒ බව සඳහන් කරමින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත ඊමේල් මාර්ගයෙන් ඇය විසින් ලිපියක් යොමු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව සැකකාරිය ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදා හරින  ලෙසයි ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඉන් අනතුරුව කෙසෙල් වත්ත පොලිසිය ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාරිය විසින් කුරුදූ වත්ත පොලිසියට ලබා දී තිබෙන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පාපොච්චාරණයක් බව පැවසුවා. 

ඇය විසින් වරදක් නොකලා නම් එවැනි ප්‍රකාශයක් ලබා දුන්නේ ඇයිද? කියන ප්‍රශ්නය මතුවන බවත් ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියා

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාරිය මේ මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කලා.

මේ අතර අල්ලස් කොමිසමේ නිලධාරීන්ට හා නිලධාරිනියට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින්ද අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවේ කරුණු වාර්තා කළා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනියේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් 04 වනදා නඩු විභාගයක් අවසන් වී අධිකරණයෙන් පිටව යන තම කොමිසමේ නිලධාරණීයකට හා නිලධාරියකුට මෙම සැකකාරිය විසින් අධිකරණ භූමියේදී  “උඹලා මරනවා” යනුවෙන් තර්ජනය කර තිබෙන බවත් එය  විමර්ශන නිලධාරින් අධෛර්යමත් කිරීමක් බවත් කියා සිටියා. 

දූෂණ විරෝධී පනතේ 125(2) වගන්තියට අනුව අල්ලස් කොමිසමට අනුයුක්ත නිලධාරියෙකුගේ ශාරීරිකව, මානසිකව හෝ කීර්තියට හානියක් විය හැකි මෙවැනි තර්ජනයන් සිදුකිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවත් එම නිලධාරණීය පැවසුවා. 

මෙම සැකකාරිය රිමාන්ඩ් නොකළහොත් විමර්ශන වලට බාධා සිදුවිය හැකි බවත් අල්ලස් කොමිසමේ විමර්ශන වලට පූර්වාදර්ශයක් ලබාදිය හැකි ආකාරයේ

 නියෝගයක් ලබාදෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම නිලධාරණීය අවසාන වශයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

එහිදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරූ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාරියගේ සිංහල දැනුම ඉතා අල්ප බවත් මෙවැනි තර්ජනාත්මක ප්‍රකාශයක් සිංහලෙන් සිදුකිරීමට ඇය හැකියාව නොමැති බවත් සඳහන් කළා.

එම ප්‍රකාශය සිදුකළ බව කියන අවස්ථාවේ ඇය මුව ආවරණයක් පැළඳ සිටි අතර දැඩි ආතතියකින් පෙළෙන මෙම තැනැත්තිය “මම මැරෙනවා” යනුවෙන් සඳහන් කළ කරුණ අල්ලස් කොමිසමේ නිලධාරීන් වැරදි ලෙස වටහාගෙන තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා. 

මෙම සැකකාරියගේ පියා මියගොස් සිටින අතර ඇයගේ මව මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් තනිවම සිටින ඇය මේ වනවිට දැඩි ආතතියට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර පවා ලබා ගන්නා බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඊට අදාළ ලේඛන ද අදිකරණයට ඉදිරිපත් කළා.

ඒ අනුව සැකකාරිය ඇප මත මුදාහරින ලෙසයි ජනාධිපති නීතිඥ උපුල් කුමර පෙනුම මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම පැමිණිල්ල සඳහාද සැකකාරිය ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.