අලි ඇතුන්ට ප්‍රතිකාර කරන්න අලි රෝහලක් හා ජංගම ප්‍රතිකාර ඒකකයක්

මේ දිනවල දිගින් දිගටම අලි ඇතුන්ට සිදුවන හානි නිසාවෙන් සතුන්ට නිසි ප්‍රතිකාර කටයුතු සිදු කිරීම සඳහා අමාත්‍යාංශයේ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා 06 දින පස්වරුවේ පැවසීය.


ඉදිරි වසර තුළ අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සදහා අලි රෝහලක් හා ජංගම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.


කණ්ඩලම වැවේ පසුගිය මාර්තු මාසයේ සිට ඉදිරි පාදයක බරපතල අස්ථිබිදීමකට ලක්ව ප්‍රතිකාර කරන කන්දල මේ හැඩකාරයා නැමැති වන අලියා නිරීක්‍ෂණය කිරීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ඇතුළු කණ්ඩායමක් එහි පැමිණියහ.


මාස ගණනාවක් තිස්සේ මෙම අලියාට ප්‍රතිකාර කිරීම වනජීවී නිලධාරින් විසින් අවස්ථා ගණනාවකම සිදුකොට තිබෙන බවත් අමාත්‍ය වරයාගේ නිරීක්ෂණයට ලක් විය.


ආහාර සොයා ගැනීමට ගමන් කිරීමට නොහැකිව වැවේ රැඳී සිටින මෙම වන අලියාට ප්‍රදේශවාසීන් දිනපතාම ආහාර ලබාදීම විශේෂත්වයෙකි. අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරිපිට දීම ඇතැම් ප්‍රදේශවාසීන් කෙසෙල් ගෙඩි කැන් පිටින් ගෙනවිත් දෙන අයුරු ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය එමෙන්ම ඇතැම් පුද්ගලයෙකු කුඩා බෑගයකින් පිපිඤ්ඤා ගෙඩි රැගෙන විත් වන අලියා අසලටම ගොස් ඔහුට ආහාරයට ලබාදෙන අනතුරුදායක තත්ත්වය ද එහිදී නිරික්ෂණය වීම විශේෂත්වයකිි.


කෙසේ වෙතත් වන අලියාගේ තත්ත්වය නිරීක්ෂණය කළ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැමිණ සිටි වනජීවි නිලධාරීන් පසු වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ සඳහන් කළේ දැනට මෙම වන අලියාට අස්ථි බිදීමකට ලක්ව තිබෙන බවය.


කෙසේ වෙතත් කරන ලද ප්‍රතිකාරවල යම් ප්‍රතිඵලයක් තිබෙන නිසා යම් මට්ටමකින් ඔහු සුව අතට හැරෙමින් පවතින බව තමන්ට වෛද්‍යවරුන් පැවසූ බවද සඳහන් කළේය.


පරිසර අමාත්‍යවරයා කියා සිටියේ පරිසර අමාත්‍යාංශයේ ඇති පහසුකම් ප්‍රමාණවත් නොවන නිසා දිනෙන් දින මෙ දිනවල වන අලි ඇතුන්ට සිදුවෙත් හානි පිළිබඳව වාර්තා වන බවය ආසියාවේ වැඩිම අලි ගහනය වැඩිම ජනගහන ඝනත්වයක් ඇති නිසාත් පසුගිය රජයන් සමයේදී සිදු කරන ලද විධ ක්‍රියාකාරකම් නිසා වන සතුන්ට මෙම බරපතළ ඉරණමට මුහුණ පෑමට සිදුවී තිබිණ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ලෙස අලි ඇතුන් ආරක්ෂා කිරීමේ වැඩසටහනක් පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය ඊට අමතරව මේ දිනවල කතාබහට ලක්වන භාතිය ඇතාගේ තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයා පැහැදිලි කරමින් කියා සිටියේ මේ වන විට පේරාදෙණිය විශ්ව ද්‍යාලයේ වෛද්‍ය කණ්ඩායමක් භාතිය ගේ ප්‍රතිකාර කටයුතු සඳහා පිටව ගොස් තිබෙන බවය , සුමේද සහ යසස් යන ඇතුන් පිළිබඳව ද ඉදිරියේදී නියෝජ්‍ය අමාත්‍යවරයා සමග නිරිසහන චාරිකාවකට එක්වීමට තමන් ක්‍රියා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය .