මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක, ඇත්කඳ රාජමහා විහාරාධිපති පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් අපවත් වී තිබෙනවා.
ආදාහන පූජ්‍යෝත්සවය ලබන 24 වැනිදා රාජ්‍ය අනුග්‍රහය සහිතව මහනුවර අස්ගිරි පොලිස් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ ශ්‍රී ඥානේෂ්වර පිරිවෙනින් මූලික පැවිදි අධ්‍යාපනය ලැබූ ධම්මදස්සී හිමියන් 1979 මැයි 20 වැනිදා උපසම්පදාව ලැබුවා.
1982 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව, පාලි භාෂාව පිළිබඳව විශේෂවේදී උපාධියක් හැදෑරූ උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තා.
මහනුවර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සහ මහනුවර දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරයන් ද සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති ධුරය ද උන්වහන්සේ හොබවනු ලැබුවා.
නිට්ටඹුව, සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ කථිකාචාර්යවරයෙකු ලෙස ද අනතුරුව, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස වසර 12 කට ආසන්න කාලයක් සේවය කළා.
2008 මාර්තු පළමු වැනිදා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ධුරය ද උන්වහන්සේට පිරිනැමුණා.
ඉන්දියාව, පකිස්තානය, ඉන්දුනීසියාව, තායිලන්තය, චීනය, එංගලන්තය සහ ජපානය ඇතුළු රටවල් රැසක ධර්ම ප්‍රචාරක මෙහෙවර ඉටු කළ උන්වහන්සේ, 2016 මැයි 5 වැනිදා අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ 33 වැනි අනුනායක පදවියට පත් වුණා.
හදිසි රෝගාබාධ තත්වයක් හේතුවෙන් මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී, උන්වහන්සේ අද උදේ අපවත් වන විට, පසු වූයේ 67 වැනි වියේ.
