
කටුපොල් (Elaeis guineensis), තේ (Camellia sinensis), රබර් (Hevea brasiliensis) සහ පොල් (Cocos nucifera) වැනි වැවිලි බෝග ගෝලීය කෘෂි කර්මාන්තයේ වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. එම භෝග ආහාර සුරක්ෂිතතාවය, ආර්ථික වර්ධනය සහ රැකියා සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයයි. මෙම භෝග ප්‍රධාන වශයෙන් නිවර්තන කලාපවල වගා කරනු ලබයි. කටුපොල් යනු ලොව වඩාත්ම ඵලදායී තෙල් භෝගය වන අතර, ගෝලීය එලවළු තෙල් ඉල්ලුමෙන් වැඩි ප්‍රමාණයක් සපයයි. එළවළු තෙල් ලබා ගැනීම සඳහා වගා කරන විකල්ප භෝග මෙන් පස් ගුණයක පමණ තෙල් අස්වැන්නක් කටුපොල් වගාවෙන් ලබාගත හැකිය. ශ්‍රී ලංකාවේ කටුපොල් වගාව බහුලව සිදුකරනුයේ වාර්ෂිකව මිලිමීටර 3000 අධික වර්ෂාපතනයක් ලැබෙන දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ ගාල්ල, මාතර, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලය.
ශ්‍රී ලංකාවේ කටුපොල් වගාවට උචිත පාරිසරික තත්වයන් එනම්, සෙල්සියස් අංශක 24 – 32ක උෂ්ණත්වයක්, මිලිමීටර් 2000ට වැඩි වර්ෂාපතනයක් හා දිනකට පැය 5කට වැඩි සූර්යාලෝකයක් පවතී. කටුපොල් භෝගය මුල්වරට ගාල්ල දිස්ත්‍රික්කයේ නාකියාදෙණිය වතුයායේ ස්ථාපනය කර ඇති අතර අනතුරුව ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල පවතින ආර්ථික ආයු කාලය අවසන් කළ ආන්තික (marginal) රබර් සහ තේ වගා ඉවත් කර භෝග විවිධාංගීකරණය යන සංකල්පය හරහා කටුපොල් වගාව ස්ථාපිත කර ඇත. මේ වන විට රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට ද ව්‍යාප්ත වී ඇත. ඉහළ ඵලදායීතාවය සහ අවශ්‍ය ශ්‍රමිකයන් ප්‍රමාණය අඩුවීම සහ දිනෙන් දින ඉහළ යන ඉල්ලුම මෙම වගාවට නැඹුරුවීමට ඇති ප්‍රධාන සාධක කිහිපයකි.
කටුපොල් භෝගය ගත් විට දේශීය අස්වැන්න පූර්ණ වශයෙන් යොදාගැනෙන්නේ තෙල් ලබාගැනීමට නිසා පොල් හා සසඳන විට හතර ගුණයකින් වැඩි තෙල් ප්‍රමාණයක් ලබාගත හැකි නිසාත් අවම වශයෙන් හෙක්ටයාර 20,000ක් කටුපොල් වගා කිරීම තුළින් දේශීය තෙල් අවශ්‍යතාව සපුරාගත හැකිය. කටුපොල් භෝගයෙන් වසරකට හෙක්ටයාරයකින් තෙල් මෙට්‍රික්ටොන් 04-08ක් අතර ප්‍රමාණයක් ලබා ගැනීමට විභවතාවයක් ඇත. එසේම පොල් වගාවෙන් ලබාගත හැකි වනුයේ වසරකට හෙක්ටයාරයකින් මෙට්‍රික්ටොන් 0.8ක් වැනි ප්‍රමාණයකි. ජෛව ස්කන්ධ (bio mass) නිෂ්පාදනය සලකා බැලීමෙන් ද එම අගයන් වෙනත් භෝග හා සැසඳීමේදී පෙනී යන්නේ කටුපොල් භෝගය වැඩි කාර්යක්ෂමතාවයක් දක්වන බවයි. හිරු එළියෙන් ලැබෙන ආලෝක ශක්තිය උපයෝගි කරගනිමින් සිදුවන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය අනෙකුත් බෝගවලට සාපේක්ෂව කටුපොල් භෝගයේ කාර්යක්ෂමවීම හේතුවෙන් කටුපොල් භෝගයේ වැඩි ජෛව ස්කන්ධයක් නිපදවීමට හේතු වේ. හෙක්ටයාරයක භූමි ප්‍රමාණයකින් තේ සහ පොල් වගාවන්ට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් තිර කිරීමට කටුපොල් වගාව සමත්ය. පර්යේෂණවලට අනුව කටුපොල් හෙක්ටයාරයක භූමි ප්‍රමාණයකින් වසරකට තිර කරන කාබන් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 11-16.3 අතර අගයක් ගනී. පොල් වගාවල කාබන් තිර කිරීමේ ධාරිතාවය හෙක්ටයාරයකට වසරකට මෙට්‍රික් ටොන් 1.25-5.3 අතර අගයක් ගනී. ශ්‍රී ලංකාවේ පහතරට, මධ්‍යම සහ උඩරට ප්‍රදේශවල වගාකර ඇති තේ වගාවන්හි කාබන් තිර කිරීමේ විභවය හෙක්ටයාරයකට වසරකට මෙට්‍රික්ටොන් පිළිවෙළින් 6.7, 3.5, 2.3 බව පර්යේෂණ මඟින් තහවුරු කර ඇත. ශ්‍රී ලංකාවේ තෙත් හා අතරමැදි කලාපයන්හි පවතින රබර් වගාවන්හි පොළව මතුපිට ශාක කොටස්වල ඇති කාබන් ප්‍රමාණය හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් පිළිවෙළින් 73 හා 66 වන අතර කටුපොල් වගාවන්හි මෙම අගය හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 38-42 පමණ වේ. ඒ අනුව කාබන් තිර කිරීමේ හැකියාව රබර්වලට වැඩි අගයක් ගන්නා අතර කටුපොල්වල එම අගය තේ සහ පොල්වලට සාපේක්ෂව වැඩිය.
ජල භාවිත කාර්යක්ෂමතාවය විද්‍යාත්මකව අර්ථදක්වා ඇත්තේ භෝග වර්ධනයේදී පරිභෝජනය කරන ජල ප්‍රමාණයට සාපේක්ෂව භෝගය නිපදවන ජෛව ස්කන්ධ හෝ ආර්ථික අස්වැන්නේ ප්‍රතිශතයක් ලෙසය. වැවිලි භෝගවල ජල භාවිත කාර්යක්ෂමතාවයට සාධක කිහිපයක් බලපායි. උෂ්ණත්වය, ආර්ද්‍රතාව සහ වර්ෂාපතනය වැනි දේශගුණික තත්වයන් වාෂ්පීකරණය හරහා සිදුවන ජල හානියට ඍජුවම බලපායි. විශේෂයෙන් දේශගුණික විපර්යාස නිසා ඇතිවන ජල හිඟය යටතේ කටුපොල්වලට ඉහළ ජල ඉල්ලුමක් ඇත. නමුත් එහි ඉහළ ඵලදායීතාව නිසා ජල භාවිත කාර්යක්ෂමතාවය ප්‍රශස්ථ මට්ටමක ඇත. එසේම කටුපොල් ශාකවලට වියළි කාලගුණික තත්ත්වවලදී කායික විද්‍යාත්මක වෙනස්කම් සිදුකර ගනිමින් මිලිමීටර 1800 – 2000 වර්ෂාපතනය යටතේ වුවද වර්ධනය විය හැකිය.
වැවිලි භෝග ජල ආතති තත්ත්ව හමුවේ විවිධ අනුවර්තනය වීමේ යාන්ත්‍රණය පෙන්වයි. ජල ආතති තත්ත්ව හමුවේ තේ භෝගවල අස්වැන්න අඩුවීම අවම කර ගැනීම සඳහා පූටිකාවල ක්‍රියාකාරිත්වය නියාමනය සිදු කරනු ලබයි. රබර් ගස් ජලය සංරක්ෂණය කිරීම සඳහා නියං කාලවලදී රබර් කිරි නිෂ්පාදනය අඩු කරන අතර පොල් ගස් වාෂ්පීකරණය අවම කිරීම සඳහා පත්‍ර මත ඉටිමය ආවරණ සාදයි. එමෙන්ම කටුපොල් ශාක ජල ආතතිය හමුවේ ජායාංගී පුෂ්ප පූමාංගී පුෂ්ප බවට කායික විද්‍යාත්මකව අනුවර්තනය වීම සිදුවේ. බොහෝ විට වියළි කලාපවල වගා කරන පොල් ලුණු මිශ්‍ර වැලිපස්වලින් කාර්යක්ෂමව ජලය අවශෝෂණය කර ගැනීමට අනුවර්තනය වී ඇති නමුත් දිගු නියඟයන්හීදී අස්වැන්න අඩුවේ. රබර් වගාවට සාපේක්ෂව කටුපොල් වගාවට වර්ෂා ජලය රඳවා තබාගැනීමේ වැඩි හැකියාවක් ඇත.
මෙයට හේතුව වන්නේ කටුපොල් ශාකයේ කඳෙහි ස්වභාවයයි. එනම් කඳෙහි ඉතිරි වී ඇති අතුවල කොටස් මඟින් වැඩි වැසි ජල ප්‍රමාණයක් අවශෝෂණය කරගැනීමට අවකාශයක් මෙම භෝගයට ලැබී ඇත. පර්යේෂණ දත්ත පෙන්නුම් කරනුයේ පාංශු ජලය රබර් වගාවන්හි, කටුපොල් හා තේ වගාවන්ට සාපේක්ෂව වැඩි අගයක් ගන්නා බවයි. කෙසේ වෙතත් කටුපොල් සහ තේ වගාව අතර පාංශු ජල ප්‍රමාණය එසේ සැලකිය යුතු ප්‍රමාණයකින් වෙනස් නොවේ. ජල පා සටහනට අනුව කටුපොල් වගාව සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය මූලිකවම වැසි ජලයෙන් ලබාගනී. කටුපොල් භෝගයේ ක්‍රියාකාරී මූල මණ්ඩලය පොළව මට්ටමේ සිට පළමු මීටර 3 ඇතුළත පැවතීමත්, මුදුන් මූල පද්ධතියක් නොමැති වීමත් නිසා කටුපොල් භෝගය භූගත ජලය මත බලපෑමක් ඇති නොකරයි.
මහාචාර්ය අයි.ආර්. පලිහක්කාර,
ඩබ්ලිව්.එම්.ටී. උත්පලා
කෘෂි විද්‍යාපීඨය රුහුණු විශ්වවිද්‍යාලය