අල්ලස් කොමිසම විසින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සංකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලෙස තම සේවාදායකයා තමන්ට උපදෙස් ලබා දී ඇති බවයි.
ඒ අනුව අදාල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා අදාල ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8850000/- ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් කළේ යැයි අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් සශීන්ද්‍ර රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
අදාල සැකකරු ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිදු කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කර තම සේවා දායකයා ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා සශින්ද්‍ර රාජපක්ෂ මහතා විසින් කොළඹ මහාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
