ඇලුමීනියම් බද්දත් දෙගුණ කළ ට්‍රම්ප්

ආනයනික වානේ සහ ඇලුමිනියම් සඳහා එක්සත් ජනපදය තීරුබදු දෙගුණ කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, එළඹෙන බදාදා සිට තීරුබදු 25% සිට 50% දක්වා ඉහළ යනු ඇති. පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග්හි පැවති රැලියක් අතරතුර ජනාධිපති ට්‍රම්ප් ඉහළ දමන ලද නව තීරු බදු පිළිබඳව අදහස් පළකළා.

ඔහු කියා සිටියේ මෙම පියවර මගින් අමෙරිකානු වානේ සමාගම්වලට සහාය වීමත්, චීනය ඇතුළු අනෙකුත් රටවල් මත යැපීම අඩු කිරීමත් මෙහි අපේක්ෂාව බවයි. වානේ කර්මාන්තය සඳහා ඩොලර් බිලියන 14 ක ආයෝජන සැලැස්මක් පිළිබඳවද ඔහු සඳහන් කළා. මෙම ගනුදෙනුවට එක්සත් ජනපද වානේ සහ ජපානයේ නිපොන් වානේ සමාගම සම්බන්ධ වන බවයි වාර්තා වන්නේ,

කෙසේවුවද අවසන් ගිවිසුම් තවමත් නිල වශයෙන් දැනුම් දී නොමැති බව ජනාධිපති ට්‍රම්ප් රැලියේදී සඳහන් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. වානේ කම්කරුවන් කිසිවෙකුට රැකියා අහිමි නොවන බවත්, එක් එක් අයට ඩොලර් 5,000 ක ප්‍රසාද දීමනාවක් ලබාදෙන බවටත් ජනාධිපති ට්‍රම්ප් පොරොන්දු වුණා. මෑත වසරවලදී අමෙරිකා එක්සත් ජනපදයේ වානේ නිෂ්පාදනය පහත වැටී ඇති අතර, චීනය, ඉන්දියාව සහ ජපානය වැනි රටවල් ලොව ප්‍රමුඛ නිෂ්පාදකයින් බවට පත්ව තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ වානේ වලින් 25% ක් පමණ වෙනත් රටවලින් ආනයනය කරනු ලබනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙර පැනවූ තීරුබදු කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් ජනපද ජාත්‍යන්තර වෙළඳ අධිකරණයේ නඩුවක් පවතින අතරතුරයි මෙම නව තීරු බදු පනවා ඇත්තේ. කෙසේවුවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, වානේ සහ ඇලුමිනියම් තීරුබදු ආනයනය පිළිබඳව එම නඩුවෙන් බලපෑමක් නොමැති බවයි.