ඉන්දියාව, රුසියානු තෙල් මිලදී ගැනීම හේතුවෙන් අතිරේක සියයට 25 ක තීරු බදු පැනවීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, අමෙරිකා එක්සත් ජනපදයට ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩවලට අය කෙරෙන මුළු තීරු බදු සියයට 50 දක්වා ඉහළ යනු ඇති.
විධායක නියෝගයට අනුව, නව බදු දින 21 කින් ක්‍රියාත්මක වනු ඇති. ඒ අගෝස්තු 27 වැනිදා සිටයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ නව තීරු බදු ප්‍රතිපත්තිය යටතේ ඉන්දියාවෙන් සියයට 25 ක බදු අය කිරීමටයි මීට පෙර තීරණය කර තිබෙන්නේ.
රුසියානු බොරතෙල් අඛණ්ඩව මිලදී ගැනීමට ඉන්දියාව ගත් තීරණයට ප්‍රතිචාරයක් ලෙස අතිරේක සියයට 25 ක තීරු බදු ප්‍රකාශයට පත් කළ බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසනවා.
ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීමෙන් රුසියාවට විශාල ආදායමක් ලැබෙමින් ඇති බවත්, යුක්‍රේනයේ යුදමය තත්වය ජාත්‍යන්තර ආරක්ෂාවට අනතුරක් බවත්, වොෂින්ටනය ප්‍රකාශ කරනවා.
මෙම තීරණයට දැඩි විරෝධයක් දක්වමින් ඉන්දියාව සඳහන් කරන්නේ තීරු බදු පැනවීම ඉතාමත් අසාධාරණ සහ, යුක්ති සහගත නොවන බවයි.
තම ජාතික අභිලාෂයන් සුරැකීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.
රුසියාව මේ වනවිට ඉන්දියාවේ විශාලතම තෙල් සැපයුම්කරු වන බව විදෙස් මාධ්‍ය පවසනවා.
එය එරට සමස්ත තෙල් අවශ්‍යතාවලින් සියයට 35 කට වඩා වැඩි ප්‍රමාණයක්.
ඒ අනුව, මෙම වසරේ මුල් මාස 6 යේ ඉන්දියාව දිනකට රුසියානු තෙල් බැරල් මිලියන 1 දශම 7 යි 5 ක් පමණ මිලදී ගත් බවයි සඳහන් වන්නේ.
