ඉරානය – අමෙරිකාව එකිනෙකාට චෝදනා එල්ල කරති

ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා හෙට ආරම්භ වීමට නියමිතයි.

සාකච්ඡා සඳහා දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ.

මේ වන විටත් දෙපාර්ශ්වයම සටන් විරාමය කඩ කළ බවට දෙපාර්ශ්වය විසින් එකිනෙකාට චෝදනා එල්ල කරගනිමින් සිටිනවා.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ දෙපාර්ශවය වෙන වෙනම කාමරවල සිට සාකච්ඡා කරනු ඇති අතර, පකිස්ථාන නිලධාරීන් මගින් පණිවිඩ හුවමාරු කරනු ඇති බවයි.

ඉරානය විසින් ඉදිරිපත් කළ යෝජනා අතර හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය, මැදපෙරදිගින් අමෙරිකානු හමුදා ඉවත් කිරීම සහ ඉරානයට එරෙහි ප්‍රහාර නතර කිරීම සහ ඉදිරියේදී ප්‍රහාර එල්ල නොකරන බවට සහතිකයක් ලබාදීම ප්‍රධාන වනවා.

එමෙන්ම අමෙරිකාව විසින් ඉරානයේ යුරේනියම් බලගැන්වීම නතර කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ලෙබනනයට එරෙහිව ඊශ්‍රායල ප්‍රහාර මෙම සාකච්ඡා සඳහා ප්‍රධාන බාධාවක් විය හැකි බවයි විශ්ලේෂකයින් පවසන්නේ.

කෙසේ වෙතත්, විශ්ලේෂකයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම සාකච්ඡා ආරම්භ වීම පමණක්ම වැදගත් පියවරක් ලෙස සැලකිය හැකි බවයි.