ඉරාන යුධ ගැටුම් හේතුවෙන් ගල්ෆ් කලාපීය රටවලට සහ ජෝර්දානයට එල්ල වූ ඉරාන ප්‍රහාර, දැඩි ලෙස හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විශේෂ යෝජනාවක් සම්මත කර තිබෙනවා.
රටවල් 135ක සම අනුග්‍රහය ඇතිව ඉදිරිපත් වූ මෙම යෝජනාව මඟින් ඉරානයේ ක්‍රියාකලාපය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව අවධාරණය කරනවා.
කලාපීය ස්වෛරීභාවය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව මෙහිදී බහුතර එකඟතාවයකට පැමිණ සිටිනවා.
බහරේනය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට පක්ෂව ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 13ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර රුසියාව සහ චීනය ඡන්දය දීමෙන් වැළකී සිටිනවා. ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට අයත් රටවල සහ ජෝර්දානයේ භූමියට මෙන්ම ස්වෛරීභාවයට ඉරානය එල්ල කරන බලපෑම් වහාම නතර විය යුතු බව මෙමඟින් පෙන්වා දෙනවා.
ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුව විසින් එල්ල කරන ලද දරුණු ප්‍රහාර ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට බරපතල තර්ජනයක් වන බව ආරක්ෂක මණ්ඩලය පවසා සිටිනවා.
විශේෂයෙන්ම සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් මියයෑම සහ දේපළ හානි සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය දැඩි අප්‍රසාදය පළ කරනවා. මෙම ප්‍රහාර මාලාව ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් ලෙසයි එම යෝජනාව මඟින් හඳුන්වා දී තිබෙන්නේ.
බහරේනයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ජමාල් ෆාරෙස් අල්රොවෙයි පවසන්නේ ලෝක සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක මණ්ඩලය කැපවී සිටින බව මෙම තීරණයෙන් යළිත් තහවුරු වන බවයි.
මෙම යෝජනාව සඳහා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 135ක් සිය සහයෝගය පළ කර තිබීම සුවිශේෂී තත්ත්වයක් ලෙස සැලකෙනවා. ඉරානය විසින් එල්ල කරන ලද අසාධාරණ ප්‍රහාරවලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව සාමූහිකව දැනුවත්ව සිටින බව එමඟින් පැහැදිලි වන බව බහරේන නියෝජිතයා වැඩිදුරටත් කියා සිටිනවා.
කලාපීය රටවල ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට ලෝක බලවතුන් මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.