අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානය ඉලක්ක කර ගනිමින් ආරම්භ කළ දැවැන්ත ගුවන් සහ මිසයිල ප්‍රහාර මාලාව හමුවේ මැදපෙරදිග කලාපය දැඩි යුද උණුසුමකට පත්ව තිබෙනවා.
පසුගිය සෙනසුරාදා ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ඝාතනය වීමත් සමඟ ආරම්භ වූ මෙම ගැටුම් හේතුවෙන් මේ වන විට ඉරාන සිවිල් වැසියන් එක්දහස් දෙසිය තිහකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, ඕනෑම මොහොතක සිදුවිය හැකි අමෙරිකානු පාබල හමුදා ආක්‍රමණයකට මුහුණ දීම සඳහා තම සේනාංක සන්නද්ධව බලා සිටින බව ඉරාන ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, සැලසුම් කළ කාලයටත් වඩා වේගයෙන් ඉරාන ආරක්ෂක පද්ධති විනාශ කිරීමට තම හමුදාවන් සමත්ව ඇති බවයි.
ඉරානය සතුව මේ වන විට ගුවන් හමුදාවක් හෝ ගුවන් ආරක්ෂක පද්ධතියක් ඉතිරිව නොමැති බවත්, එරට පාලන තන්ත්‍රය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙමින් පවතින බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
එසේම, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා තෝරා ගැනීමේ ක්‍රියාවලියට තමන් සෘජුවම මැදිහත් වන බව පවසන ට්‍රම්ප් පාලනය, ඉරාන රාජ්‍යතාන්ත්‍රිකයින්ට සහ විප්ලවීය ආරක්ෂක බලකායේ සාමාජිකයින්ට අවි බිම තබා අමෙරිකාව සමඟ එක්වන ලෙස දන්වා සිටිනවා.
