ඊශ්‍රායල අගමැතිගෙන් දැඩි තීරණයක්

ගාසා තීරයේ සියලුම ප්‍රදේශවල පාලනය තමන් අතට ගන්නා බවත්, සීමිත ආහාර ප්‍රමාණයක් එම ප්‍රදේශයන්ට ලබා දෙන බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

ළදරු ආහාර, කිරි පිටි හා වෛද්‍ය සැපයුම් රැගත් ට්‍රක් රථවලට එම ප්‍රදේශයන්ට ඇතුළු වීමට ඉඩ සලසා දෙන බව, ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය කියා සිටිනවා.

එමෙන්ම, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ, හමාස් සංවිධානය ගාසා තීරයේ සිදු කරන කොල්ලකෑම් නැවැත්වීම ද තම අරමුණ බවයි.

ඒ අනුව, එම ප්‍රදේශයන්හි පාලනය තමන් අතට ගන්නා බවද, ඔහු කියා සිටිනවා.

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පැවති ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ වැ‍ඩපිළිවෙළ බිඳ වැටීමෙන් පසු, පසුගිය මාර්තු මස සිට සති 11කට ආසන්න කාලයක් ගාසා තීරයට ආධාර සැපයුම ඊශ්‍රායලය විසින් අවහිර කරනු ලැබුවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ, මානුෂීය ආධාර සැපයීම අත්හිටුවීම නිසා ලක්‍ෂ 21 ක පමණ ජනගහනයක් වෙසෙන ගාසා තීරයේ, සාගතයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බවයි.