පසුගිය මාසයේ එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්ට සුළු තුවාල සිදුව ඇති බව වාර්තා වනවා. ප්‍රහාරය එල්ල වී ඇත්තේ, පසුගිය මස 16 වැනිදායි.
ටෙහෙරානයේ පිහිටි රහසිගත භූගත රැඳවුම් මධ්‍යස්ථානයක ප්‍රවේශ වීමේ සහ ඇතුළු වීමේ දොරටුවලට ඊශ්‍රායලය බෝම්බ හයක් එල්ල කර තිබෙනවා.
ඉරාන රාජ්‍ය ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය පවසන්නේ එම අවස්ථාවේ ඉරාන ජනාධිපතිවරයා උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකට සහභාගීවී සිටි බවයි.
ජනාධිපතිවරයා සහ තවත් කිහිපදෙනෙකු හදිසි පිටවීමේ මාර්ගයකින් පැන යාමේදී ඔහුගේ කකුලට තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ, ඊශ්‍රායල ප්‍රහාරවලින් එම රැඳවුම් ස්ථානයට ඇතුළුවීමේ සහ පිටවීමේ දොරටු හයම අවහිර වූ බවයි. එහි වාතාශ්‍ර පද්ධතිය ද අවහිර වී තිබෙනවා.
එම ස්ථානයේ විදුලිය ද විසන්ධි වී ඇති නමුත් ජනාධිපතිවරයා ආරක්ෂිත ස්ථානයකට යාමට සමත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගෙන් පසු ඉරානයේ ඉහළම තීරණ ගැනීමේ ආයතනය වන්නේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයයි.
ඉරාන ජනාධිපතිවරයා පසුගිය සතියේ ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය තමා මරා දැමීමට උත්සාහ කළ බවයි.
එහෙත්, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන අතර, ඔහු පැවසුවේ “පාලන තන්ත්‍රය වෙනස් කිරීම” යුද්ධයේ ඉලක්කයක් නොවූ බවයි.
