එ.ජා මහා මණ්ඩල සැසිවාරයේදී නෙතන්යාහුට විරෝධය

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ සිය ආරම්භක දේශනය සිදු කරමින් ඊශ්‍රායල අගමැති බෙංජමින් නෙතන්යාහු, බටහිර රටවල් කිහිපයක් පලස්තීන රාජ්‍ය පිළිගැනීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

ඊශ්‍රායල අගමැතිවරයා වේදිකාවට පැමිණීමත් සමග එහි සිටි නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු පිරිසක් ශාලාවෙන් පිටව ගිය බවයි, වාර්තා වන්නේ.

මෙම සතියේ එක්සත් රාජධානිය, ප්‍රංශය සහ කැනඩාවට ඇතුළු බටහිර රටවල් කිහිපයක් විසින් පලස්තීන රාජ්‍යය පිහිටුවීමේ ක්‍රියාවලිය පිළිගනු ලැබුවා.

අමෙරිකාවේ නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ඊශ්‍රායල අගමැති බෙංජමින් නෙතන්යාහු ප්‍රකාශ කර සිටියේ, එම රටවල් විසින් පලස්තීන රාජ්‍ය පිළිගැනීම ලැජ්ජා සහගත ක්‍රියාවක් බවයි.

ඊට විරෝධය පළ කිරීම සඳහා එහි සිටි නියෝජිතයින් පිරිසක් ශාලාවෙන් පිටව ගිය බවයි, වාර්තා වන්නේ.

ඊශ්‍රායල අගමැතිවරයාගේ දේශනය අතරතුර ගාසා තීරයේ ඊශ්‍රායල යුද්ධයට එරෙහිව විරෝධතාකරුවන් පිරිසක් ද ටයිම්ස් චතුරශ්‍රයේ රැස්ව සිටි බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඉකුත් වසර පුරා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට, යේමනයේ හූති කැරලිකරුවන්ට සහ ගාසා තීරයේ හමාස් සංවිධානයට මෙන්ම, ඉරානයට එරෙහිව සිදු කරන ලද ඊශ්‍රායල හමුදා මෙහෙයුම් පිළිබඳව ද ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙහිදී සඳහන් කර සිටියා.

ඉකුත් ජුනි මස ඉරානයේ ෆෝඩෝ න්‍යෂ්ටික බලාගාරයට බෝම්බ හෙලීමේ මෙහෙයුම සඳහා අමෙරිකාවේ මැදිහත් වීම වෙනුවෙන් ඊශ්‍රායල අගමැතිවරයා, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සිය ප්‍රසාදය ද මෙහිදී පළ කර සිටියා.

අගමැති නෙතන්යාහු යළි යළිත් අවධාරණය කර සිටියේ, පලස්තීන රාජ්‍යයක් පැවතීමට තම රට ඉඩ නොදෙන බවයි. මෙම ස්ථාවරයට අතිමහත් බහුතර ඊශ්‍රායල ජාතිකයින් පිරිසක් සහය දක්වන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.