දශක පහකට වැඩි කාලයකට පසු මිනිසා නැවතත් සඳ වෙත රැගෙන යාමේ නාසා ආයතනයේ දැවැන්ත අභිලාෂය සාර්ථක කරමින් ආර්ටෙමිස් II මෙහෙයුම ඉතා තීරණාත්මක ජයග්‍රහණ රැසක් සමඟින් අවසන්ව තිබෙනවා.
මෙම මෙහෙයුම හුදෙක් තාක්ෂණික පරීක්ෂණයක් පමණක් නොව, අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ මානව විවිධත්වය සහ ගෝලීය සහයෝගීතාව ප්‍රදර්ශනය කළ සුවිශේෂී අවස්ථාවක් ලෙස විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
ආර්ටෙමිස් II මෙහෙයුම පෘථිවියට පැමිණීමත් සමඟ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව යුගයක් ආරම්භ වී තිබෙනවා.
සඳ වටා ගමන් කරමින් ලෝක වාර්තාවක් තැබූ මෙම යානයේ සිටි ගගනගාමීන් පිරිස ලෝක අවධානය දිනාගන්නේ එහි ඇති සුවිශේෂී නියෝජනය නිසාවෙනුයි.
ඒ අනුව වික්ටර් ග්ලෝවර් සඳ වටා ගමන් කළ ප්‍රථම කළු ජාතික පුද්ගලයා ලෙසත්, ක්‍රිස්ටිනා කෝච් ප්‍රථම කාන්තාව ලෙසත් සහ ජෙරමි හැන්සන් ප්‍රථම අමෙරිකානු නොවන ජාතිකයා ලෙසත් ඉතිහාසයට එක්වන බව නාසා ආයතනය සඳහන් කරනවා.
සිය ගමන අතරතුර සඳෙහි මතුපිට ස්වභාවය ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ බව පවසන ගගනගාමීන්, සූර්යග්‍රහණයක් මෙන්ම උල්කාපාත කඩා වැටීම් පවා අභ්‍යවකාශයේ සිට සජීවීව දැකබලා ගත් බව කියා සිටිනවා.
මෙම මෙහෙයුමේ වඩාත්ම අභියෝගාත්මක අවස්ථාව වූයේ ඔරායන් යානය නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වීමේදී ඇති වූ අධික තාපයයි.
එම අවස්ථාවේදී යානය වටා ඇති වූ දැඩි රශ්මිය හේතුවෙන් පෘථිවිය සමඟ පැවති සන්නිවේදන සබඳතා තාවකාලිකව බිඳ වැටුණු බව ඉංජිනේරුවන් පවසනවා.
කෙසේ වෙතත්, යානයේ තාප ආවරණ පද්ධතිය සහ ජීව ආධාරක තාක්ෂණය ඉතා ඉහළ මට්ටමක පැවති බවත්, එමගින් ගගනගාමීන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු වූ බවත් විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
