ඕස්ට්‍රේලියාවේ වෙඩිතැබීමෙන් මියගිය පිරිස ඉහළට

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි බොන්ඩි වෙරළ තීරයේ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් දෙදෙනා පියා සහ පුත්‍රයා බව ඔස්ට්‍රේලියානු පොලිසිය පවසනවා.

යුදෙව් ආගමික සැමරුමකට ඊයේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් එක් ප්‍රහාරකයෙක් ඇතුලුව 16 දෙනෙකු මිය ගියා.

මියගිය අය අතර කුඩා දරුවකුද සිටින බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියාවේ අගමැති ඇන්තනි ඇල්බනීස් කියා සිටියේ මෙය යුදෙව් විරෝධී ත්‍රස්ත ප්‍රහාරයක් බවයි.

වයස අවුරුදු 50 ක්වූ එක් තුවක්කුකරුවෙකු එම ස්ථානයේදීම පොලිසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් මියගොස් තිබෙනවා.

ඔහුගේ 24 හැවිරිදි පුතා තුවාල ලබා පොලීසිය එල්ල කළ ප්‍රහාරවලින් තුවාල ලබා රෝහල් ගත කර සිටිනවා.

ප්‍රහාරයෙන් මිය ගිය අය වයස අවුරුදු 10 ත් 87 ත් අතර බවයි බලධාරීන් පවසන්නේ.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 42 දෙනෙකු තුවාල ලබා රෝහල්වල ප්‍රතිකාර ලබා තිබෙනවා. ඇතමෙකුගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ දහසක පමණ පිරිසක් රැස්ව සිට ඇති බවයි පොලීසිය පවසන්නේ.