මැදපෙරදිග කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් ඉරානය එල්ල කළ දරුණු මිසයිල ප්‍රහාර මාලාවත් සමඟ කලාපීය ආරක්ෂාව දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.
කටාර් රාජ්‍යයේ ප්‍රධාන ගෑස් පර්යන්තයට එල්ල වූ මෙම ප්‍රහාර හේතුවෙන් එරට සිටින ඉරාන ආරක්ෂක නිලධාරීන් නෙරපා හැරීමට කටාර් බලධාරීන් පියවර ගෙන තිබෙනවා. සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද සිය තෙල් සහ ගෑස් මධ්‍යස්ථාන ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර දැඩි ලෙස හෙළා දකිමින් සිටිනවා.
කටාර් රාජ්‍යයේ ප්‍රධානතම බලශක්ති මධ්‍යස්ථානය වන රාස් ලෆාන් කාර්මික කලාපයට ඉරානය එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාර හේතුවෙන් එහි ස්වභාවික වායු පර්යන්තයට දැඩි හානි සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් කටාර් රජය එරට සිටින ඉරාන ආරක්ෂක සහ හමුදා නිලධාරීන්ට වහාම රටින් පිටවන ලෙස නියෝග කර සිටිනවා.
කටාර් විදේශ අමාත්‍යාංශය පවසන්නේ ඉරානය සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ඇති බවයි. මේ අතර බහරේනය පුරා ද ගුවන් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීම නාද වන අතර ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස එරට රජය දැනුම් දෙනවා.
සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද මෙම ප්‍රහාරවලට ගොදුරු වී තිබෙනවා. රියාද් අගනුවර පිහිටි පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර එල්ල වී ඇති බවත්, අවශ්‍ය වුවහොත් ඉරානයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට අයිතියක් පවතින බව සෞදි විදේශ අමාත්‍යවරයා පවසනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද සිය හබ්ෂාන් ගෑස් පර්යන්තයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ආරක්ෂක පියවරක් ලෙස එම මධ්‍යස්ථාන වසා දැමීමට කටයුතු කර තිබෙනවා.