මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් දිනය අදයි.
සිව් මහා දේවාලයන්හි දිය කැපීමේ චාරිත්‍රය අද උදේ ඉටුකෙරුණු අතර දහවල් පෙරහර පැවැත්වීමෙන් අනතුරුව මහනුවර ඇසළ මංගල්‍යය නිමාවට පත්වනවා.
මහනුවර ඇසළ මංගල්‍යය ඉකුත් 30 වැනි දින ආරම්භ කෙරුණු අතර එහි අවසන් රන්දෝලි පෙරහර ඊයේ වීදි සංචාරය කළා.
පෙරහර නැරඹීමට මෙවරත් සැදැහැවතුන් අති විශාල පිරිසක් මහනුවරට පැමිණ සිටිනු දැකගත හැකි වුණා.
අවසන් රන්දෝලි පෙරහර ආරම්භ කෙරුණේ ඊයේ සවස 6.51 ට යෙදුණු සුබ මොහොතින්. සධාතුක කරඬුව වැඩම කරවනු ලැබුවේ රුහුණු කතරගම මහ දේවාලයේ වාසනා හස්තියා විසින්.
අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව ඉපැරණි සම්ප්‍රදායන්ට අනුකූලව පෙරහර කරඬුව අස්ගිරි ගෙඩිගේ රජමහ විහාරයේ තැන්පත් කරනු ලැබුවා.
ඉන් පසුව නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාලවල පෙරහර මහවැලි ගගේ ගැටඹේ තොට දක්වා ගමන් කර, දිය කැපීමේ චාරිත්‍රය ඉටුකෙරුණා.
අද උදෑසන පැවති එම අවස්ථාවට ද විශාල පිරිසක් සහභාගි වී සිටියා.
දිය කැපීමේ චාරිත්‍රයෙන් අනතුරුව සිව් මහා දේවාල පෙරහර මහනුවර පුල්ලෙයාර් කෝවිල දක්වා ගමන් කර, ආගමික චාරිත්‍ර සිදුකෙරුණා.
මහනුවර ඇසළ මංගල්‍යයේ දහවල් පෙරහර අස්ගිරි ගෙඩිගේ රජමහ විහාරයෙන් ආරම්භ කෙරෙන්නේ අද පස්වරු දෙක පසු වී විනාඩි 16 ට යෙදෙන සුබ මෙහොතින්.
දහවල් පෙරහර ශ්‍රී දළදා මාළිගා චතුරස්‍රයේ තුන් වරක් ප්‍රදක්‍ෂිණා කොට ගෙවැදීමට නියමිතයි.
අනතුරුව මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව නිමාවට පත්කළ බව දියවඩන නිලමේවරයා ඇතුළු බස්නායක නිලමේවරුන් විසින් නිල වශයෙන් අද සවස ජනාධිපතිවරයා වෙත සංදේශයක් මගින් දැනුම් දීම සිදුකරනු ලබනවා.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්කෙරෙන්නේ ඒ සමගයි.
