කාම්බෝජ – තායිලන්ත අර්බුදය උත්සන්නවන ලකුණු

කාම්බෝජ – තායිලන්ත දේශසීමාවේ අර්බුදය ක්‍රමයෙන් උත්සන්න වෙමින් පවතිනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ දින දෙකක් පැවති දැඩි සටන්වලින් පසු පුද්ගලයින් 32 දෙනෙකු මිය ගොස් දස දහස් ගණනකට තම නිවෙස්වලින් පලා යාමට සිදුව ඇති බවයි.  කාම්බෝජ බලධාරීන් පවසන්නේ, ගැටුම් හේතුවෙන් අලුතින් මරණ 12 ක් වාර්තා වී ඇති බවයි.

සිවිල් වැසියන් හත් දෙනෙකු සහ සොල්දාදුවන් පස් දෙනෙකු ඊට ඇතුළත්. ගැටුම් ආරම්භ වූ දින සිට කාම්බෝජයෙන් වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බෞද්ධ ‍චෛත්‍යයකට එල්ල වූ තායි රොකට් ප්‍රහාරයකින් එක් අයෙකු මිය ගිය බවද කාම්බෝජ බලධාරින් සඳහන් කළා. ඊට අමතරව, තවත් 70 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. මේ අතර තායිලන්ත කාම්බෝජ දේශසීමාව අසල කාම්බෝජ සිවිල් වැසියන්  20,000 ක් පමණ ඉවත් කරගෙන ඇති බව සඳහන්. තායිලන්තය පවසන්නේ ගැටුම් හේතුවෙන් ළමයින් ඇතුළු සිවිල් වැසියන් 14 දෙනෙකු මිය ගොස් තවත් 60 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි.

කාම්බෝජ හමුදාව සිවිල් වැසියන් සිටින ප්‍රදේශ වෙත වෙඩි තැබූ බවත්, දේශසීමා අසල සිටි සිවිල් වැසියන් 138,000 ක පිරිසක් අදාළ ස්ථානවලින් ඉවත් කොට ඇති බවත් තායිලන්තය  බලධාරීන් පවසනවා. අවතැන් වූ පුද්ගලයින් සදහා අරක්ෂිත මධ්‍යස්ථාන 300 ක් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.  ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර ලෙස, කාම්බෝජය වහාම කොන්දේසි විරහිත සටන් විරාමයක් හා සාමකාමී විසඳුමක් ඉල්ලා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාම්බෝජ තානාපති චීයා කියෝ ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

කෙසේවුවද, තායිලන්තය එම යෝජනාවට  තවමත් ප්‍රතිචාර දක්වා නැහැ. තව දුරටත් මෙම ගැටුම් පැවතුණහොත් පූර්ණ යුද්ධයක් දක්වා එය වර්ධනය විය හැකි බවට වැඩබලන අගමැතිවරයා අනතුරු අඟවනවා. අමෙරිකා එක්සත් ජනපදය සහ ආසියානු සංවිධානයේ වත්මන් සභාපති මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් ඇතුළු ගෝලීය නායකයින් තායිලන්තය සහ කාම්බෝජය දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා ඇත්තේ ගැටුම් නතර කර සටන් විරාමයකට පැමිණෙන ලෙසයි.