
එප්පාවල නගරයේ පිහිටි වැව් බැම්ම මතින් දිවෙන මාර්ගය දීර්ඝ කාලයකින් සුද්ධ පවිත්‍ර නොකිරීම හේතුවෙන් වල්බිහි වී විවිධ පිරිස් කැලි කසල දමා, මත්ලෝලීන්ගේ රජදහනක් බවට පත්ව තිබිණි.
මේ සම්බන්ධයෙන් එප්පාවල මහජන ආරක්ෂක කමිටුව අවධානය යොමු කර, තලාව ප්‍රාදේශිය සභාව හා ප්‍රදේශවාසින් හා ව්‍යාපාරික ප්‍රජාව එක්ව එම මාර්ගය සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමාදානයක් අද (13) සංවිධානය කළහ.
එම අවස්තාවට තලාව ප්‍රාදේශිය සභාවේ සභාපති කරුණාදාස දිසානායක, මන්ත්‍රීනී මංගලිකා දිසානායක මහත්මිය ඇතුළු දේශපාලන නියෝජිතයින්, එප්පාවල පොලිස් ස්ථාන නිළධාරීන් , ව්‍යාපාරික ප්‍රජාව හා ප්‍රදේශවාසීන් එක්ව සිටි අතර, එම මාර්ගය දෙපස වැවි තිබූ කැලෑව සුද්ධ පවිත්‍ර කර මාර්ගයේ වලවල් බොරලු දමා වසා දමමින් සුද්ධ පවිත්‍ර කරනු ලැබීය.
තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ඇතුළු මන්ත්‍රීවරුන්ද මෙම ශ්‍රමදානයේදී තම ශ්‍රමදායකත්වය නොමසුරුව ලබා දෙන අයුරු දැක ගත හැකි විය.
එම වැව් බැම්ම පිරිසිදු කරන අතර තුර ස්ථාන කීපයකින් දන්ත ශල්‍යාගාර වලින් ඉවත් කරන අපද්‍රව්‍ය මලු කීපයක් හමු වු අතර, එය නගරයේ පිහිටි පෞද්ගලික දන්ත ශල්‍යාගාර දෙකෙන් එකක් විසින් සිදු කරන්නට ඇතැයි සැක කරන බවද ශ්‍රමදානයට සහභාගී වූවෝ පැවසූහ.
තලාව ප්‍රාදේශිය සභා මන්ත්‍රීනී මංගලිකා දිසානායක මහත්මිය මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ,
එප්පාවල මහජන ආරක්ෂක කමිටු යටතේ එප්පාවල කොට්ඨාශයේ එප්පාවල වැව් බැම්ම සුද්ධ පවිත්‍ර කිරීම සිදු කරනවා, ගොවි සංවිධාන, ස්වෙච්ඡා සංවිධාන හා ප්‍රදේශවාසීන්ගේ දායකත්වය මේ සඳහා ලැබෙනවා.එප්පාවල නගරය ආශ්‍රිතව පිහිටා ඇති වැවක් නිසා විශේෂයෙන්ම වැව් බැම්ම බොහෝ දෙනෙක් විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කරනවා, ඒ අතර පාසල් දරුවන් සහ වෙනත් පිරිස් වැව් බැම්ම භාවිතා කරනවා විකල්ප මාර්ගයක් ලෙස, මේ වැව් බැම්ම කැලෑ වැදිලා තියෙන එක ඇත්තටම අනාරක්ෂිත බවක් තියෙනවා, ඒ නිසා ඔවුන්ගේ පහසුව සඳහා මේ වැව් බැම්ම අපි සුද්ධ පවිත්‍ර කරනවා යැයි පැවසුවාය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තලාව ප්‍රාදේශිය සභාවේ සභාපති කරුණාදාස දිසානායක මහතා,
අපි අද එප්පාවල වැව් බැම්ම මතින් දිවෙන මාර්ගය කැලේ වැවිලා මිනිසුන්ට යන්න එන්න බැරි තත්වයක තියෙන බව තලාව ප්‍රාදේශීය සභාව දැනුම්වත් කළා ඒ අනුව අපේ යන්ත්‍ර සුත්‍ර හා ජනතාව එකතු වෙලා මේ මාර්ගය පිළිසකර කරන ශ්‍රමදානයක් තමයි අද සිදු කරන්නේ.
අපි මේ ප්‍රදේශයේ උපන් මිනිස්සු, අපිට කොහොමත් කැත්ත උදැල්ල සියල්ල අපිට හුරුයි , ඒ නිසා තමයි අපි මිනිස්සු එක්ක වැඩ කරන්නේ, විවිධ අය , විවිධ දේවල් කිව්වාට අපි ඇවිත් තියෙන්නේ ඔෆිස් කාමර වල ඒ.සී දාගෙන පුටුවල කැරකි කැරකී ඉන්න නෙමෙයි, පහුගිය ඉතිහාසයේ දැක්කේ ඒක, දේශපාලඥයෝ කියන්නේ ප්‍රථිපත්ති හදනවා වගේම ජනතාව එක්ක එකට ඒකාබද්ධ වෙලා වැඩ කරන්න පුරුදු සමාජයක් අපි හදන්න ඕන, ඒ නිසා තමයි අපේ මැතිඇමතිවරු පවා මේ වැඩ වල යෙදිලා ඉන්නේ, මට ප්‍රාදේශිය සභාවේ සභාපති කියලා පැත්තකට වෙලා ඉන්න බෑ, ජනතාව වැඩ කරන කොට ඒ ඒකක වැඩ කරන්න ඕන ඒ කාර්ය තමයි අද ඉෂ්ඨ කරමින් තියෙන්නේ යැයි පැවසීය.