කැනඩාවේදී ලාංකික පවුලක් ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

2024 වසරේ කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක් ඇතුළු 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටි ශ්‍රී ලාංකික තරුණයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැනවීමට එරට අධිකරණයක් නියෝග කර තිබෙනවා.

මෙම චෝදනාව එල්ල වී ඇත්තේ ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්රියෝ ද සොයිසා නම් 20 හැවිරිදි තරුණයෙකුටයි.

ඉකුත් ව‍සරේ ඔටාවා හි නිවසක් තුළ සිදු වූ සමූහ පිහි ඇනුමකින් කුඩා දරුවන් 4 දෙනෙකු, ඔවුන්ගේ මව සහ පවුලේ සමීපතමයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම තරුණයාට එරෙහිව චෝදනා එල්ල වුණා.

මිනී මැරුම් සම්බන්ධයෙන් ඔහු වරද පිළිගෙන ඇති බවයි කැනඩා මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහට පහරදීම සම්බන්ධයෙන් මිනී මැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ද මෙම තරුණයාට එරෙහිව චෝදනා එල්ල වුණා.

ඒ සම්බන්ධයෙන් ද ඔහු මේ වනවිට වරද පිළිගෙන තිබෙනවා.

ඉකුත් වසරේ මාර්තු 6 වන දින මෙම ඝාතනය සිදුවන අවස්ථාවේදී මෙම තරුණයා, එම ශ්‍රී ලාංකීය පවුල සමග ජීවත් වූ එරට අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි තරුණයෙකු බවයි වාර්තා වන්නේ.

ඔහුට එ‍රෙහිව පළමු මට්ටමේ මිනී මැරුම් චෝදනා 4 ක්, දෙවන මට්ටමේ මිනී මැරුම් චෝදනා 2 ක් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ අතර ඒ සියල්ලටම ඔහු වරද පිළිගෙන තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් තීන්දු ප්‍රකාශ කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කොට ඇත්තේ, මෙය ඉතිහාසයේ සිදු වූ දරුණුතම අපරාධවලින් එකක් බවයි.