කිංග්ස්ලා අවසන් සටනට

අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ඊයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගය කඩුලු 5 කින් ජය ගනිමින්.

මුම්බායි ඉන්දියන්ස් සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ, අහමදාබාද් හිදී.

පළමුවෙන්පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම, පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 203 ක් රැස් කළා.

සූර්ය කුමාර් යාදෙව් සහ තිලක් වර්මා ලකුණු 44 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේදී අස්මතුල්ලා ඔමර් සායි කඩුලු 2 යි. පිළිතුරු ලෙස පංජාබ් කිංග්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 19 කදී කඩුලු 5 ක්දැවී ලකුණු 207 ක් රැස් කරමින්.

නායක ශ්‍රෙයාස් අයියර් පන්දු 41 කදී නොදැවී ලකුණු 87 යි. ඔහුගේ ඉනිමට 4 පහර 5 ක් සහ 6 පහර 8 ක් ඇතුළත්.

නේහල් ‍වදේරා ලකුණු 48 යි.

පන්දු යැවීමේදී අශ්වනි කුමාර් කඩුලු 2 ක් දවා ගත්තා.

මෙම ජයග්‍රහණයත් සමග පංජාබ් කිංග්ස් කණ්ඩායම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර, ඔවුන් අයි පී එල් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙයයි.

මීට‍ පෙර 2014 වසරේදී අවසන් තරගයට සුදුසුකම් ලැබුවද ඔවුන්ට ශූරතාව හිමි කර ගැනීමට අවස්ථාව උදා වූයේ නැහැ.

රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලූරු සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර අවසන් තරගය හෙට අහමදාබාද් හිදී පැවැත්වීමට නියමිතයි.