කියෙව් අගනුවරට දැවැන්ත රුසියානු ප්‍රහාරයක්

යුක්‍රේනයේ කියෙව් අගනුවර ඉලක්ක කර ඊයේ රාත්‍රී දැවැන්ත රුසියානු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

යුක්‍රේන බලධාරින් පවසන්නේ ප්‍රහාරයෙන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

කියෙව් අගනුවරට එල්ල වු රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර, දරුවන් දෙදෙනෙක්ද සිටින බවයි යුක්‍රේන බලධාරින් පවසන්නේ.

තවත් විසි හතර දෙනෙකු තුවාල ලබා ඇති බවද ඔවුන් තහවුරු කළා. එරට “ඩානිට්ස්කි” දිස්ත්‍රික්කයේ පස් මහල් ගොඩනැගිල්ලක් විනාශ වී ඇති බව වාර්තා වනවා.

“නිප්‍රෝ“ දිස්ත්‍රිකයේ නේවාසික මහල් ගොඩනැගිල්ලක ගින්නක්ද හට ගැණුනු බව සඳහන්.

යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම් පද්ධති ඉලක්ක කර එල්ල වු මෙම නවතම රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයෙන් එරට නිවාස ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකට විදුලි සැපයුමද ඇණහිට තිබෙනවා.

එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් අනතුරුව රුසියානු මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල වු බවයි යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි කියා සිටියේ.