ඉරානය විසින් ඩුබායි වරායේ නවතා තිබූ කුවේට් රජයට අයත් දැවැන්ත තෙල් නෞකාවකට එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් මැදපෙරදිග කලාපයේ යුධමය තත්වය උණුසුම් වී තිබෙනවා.
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති යුධ මෙහෙයුම් දෙවන මාසයටත් සක්‍රීයව පවතින පසුබිමක හෝමුස් සමුද්‍ර සන්ධිය අර්ධ වශයෙන් වසා දැමීමට ඉරානය ගත් තීරණය හමුවේ කලාපීය බලවතුන් මෙන්ම ජාත්‍යන්තර ප්රජාවද මේ පිළිබදව අවධානය යොමු කර තිබෙනවා.
ඩුබායි වරායේ නවතා තිබූ ‘අල්-සල්මි‘ නැමති කුවේට් තෙල් නෞකාව ඉලක්ක කර ගනිමින් ඉරානය මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව කුවේට් ඛනිජ තෙල් සංස්ථාව තහවුරු කර සිටිනවා.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ නෞකාව පූර්ණ ලෙස බොරතෙල්වලින් පිරී තිබූ අතර, ඉන් හටගත් ගින්න පාලනය කිරීම සඳහා ඩුබායි ගිනි නිවන ඒකක අඛණ්ඩව මෙහෙයුම් දියත් කරන බව සඳහන් වනවා.
මෙම සිදුවීමත් සමඟ මුහුදට තෙල් කාන්දු වීමේ දැඩි අවදානමක් පවතින බව පවසන බලධාරීන්, නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය ආරක්ෂිතව මුදාගත් බව ද ප්‍රකාශ කරනවා.
මෙම ප්‍රහාරයත් සමඟ ජාත්‍යන්තර වෙළඳපොළේ බොරතෙල් මිල සියයට 3.4 කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
