කෙන්යාවේ 88ක් දිය රකුසාට බිලි

බටහිර කෙන්යාවට බලපා ඇති දරුණු ගංවතුර හේතුවෙන්, පුද්ගලයින් 88 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටින බවයි වාර්තා වන්නේ.

පවතින අධික වර්ෂාවෙන් ප්‍රදේශයේ ගම්මාන රැසක් ජලයෙන් යටවී ඇති අතර වගාබිම් විශාල ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

කිසුමු සහ හෝමා බේ දේශසීමා ආශ්‍රිතව නිවාස සහ කුඹුරු අඩි ගණනාවක් ජලයෙන් යටවී ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සහන කණ්ඩායම් අවතැන් වූ පිරිස් බෝට්ටු ආධාරයෙන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරනු ලබන අතර විපතට පත් සතුන් බේරා ගැනීමට ද දැඩි උත්සාහයක නිරතව සිටිනවා.

ගංවතුරට හසුව සිටි පුද්ගලයින් අනූ දෙනෙකු පමණ බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වීම විශේෂත්වයක්.

බටහිර නයකාච් ප්‍රදේශයේ බලධාරීන් පවසන්නේ අවතැන්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 4,500 ඉක්මවා ඇති බවයි.

බඩඉරිඟු, එළවළු සහ කොමඩු ඇතුළු වගාබිම් හෙක්ටයාර 3,500කට වඩා වැඩි ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා.

මෙම ස්වභාවික ව්‍යසනය හේතුවෙන් කලාපයේ මානුෂීය අවශ්‍යතා සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව දැඩි අවදානමක් මතුව ඇති බව ද සහන සේවා අංශ පෙන්වා දෙනවා.