කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩුව, ලබන 15 වැනිදා

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහි නඩුව, ලබන 15 වැනිදා කැදවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. රුපියල් මිලියන 97  කට ආසන්න  වටිනාකමකින් යුත් වත්කම් සහ දේපළ අයථා ලෙස අත්පත් කරගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නඩුව පවරා තිබෙනවා.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔවුගේ බිරිඳ, දියණියන් තිදෙ‍නා සහ  බෑනට එරෙහිවයි, අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර ඇත්තේ. නඩුව අද   කොළඹ මහාධිකරණ විනිසුරු මෙහොමඩ් මිහාල්  මහතා ඉදිරියේ  කැදවූ අවස්ථාවේ දී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්  කියා සිටියේ,  විත්තිය  විසින් ඉල්ලා සිටින ලේඛන 12 ක් මේ දක්වා තමන්ට ලබා දී නොමැති බවයි. ඒ අනුව, අදාළ ලේඛන කඩිනමින් විත්තිය වෙත ලබා දීමට කටයුතු කරන ලෙස අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ‍ජනරාල්වරිය වෙත දැනුම් දුන් විනිසුරුවරයා, මෙම නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන 15 වැනිදා කැදවන ලෙස නියම කළා.