කොදෙව්වන් දණ ගැස්වූ එංගලන්තයේ සුපිරි ඉනිම

බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් ලැබීමට එංගලන්තය සමත් වුණා.

තරගය පැවැත්වුණේ, එංගලන්තයේ, කාඩිෆ් හිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, පන්දුවාර 47 යි පන්දු 4 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 308 ක් රැස් කළා. කීසි කාටි ලකුණු 103 යි.

ශායි හෝප් ලකුණු 78 ක් රැස් කළ අතර, බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 59 යි.

පන්දු යැවීමේදී ආදිල් රශීඩ් කඩුලු 4 ක් සහ සකීබ් මොහොමඩ් කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ලෙස එංගලන්තය තරගය ජය ගත්තේ පන්දුවාර 48 යි පන්දු 5 කදී කඩුලු 7 ක්දැවී ලකුණු 312 ක් රැස් කරමින්.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ජෝ රූට් නොදැවී ලකුණු 166 යි.

පන්දු 139 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 21 ක් සහ 6 පහර 2 ක් ඇතුළත්.

ජෝරූට් මෙම තරගයේදී එක්දින ලකුණු 7000 සීමා පසු කළ අතර එය වාර්තා වන්නේ, එංගලන්තය වෙනුවෙන් එම කඩඉම පසු කළ පළමු ක්‍රීඩකයා ලෙසයි.

මේ අතර, එක්දින තරගයක ලකුණු හඹා යාමකදී එංගලන්ත ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම දෙවැනි ලකුණු සංඛ්‍යාව ලෙසයි, ජෝ රූට් රැස් කළ ලකුණු 166 වාර්තා අතරට එක් වුණේ.