ගලෙන්බිඳුණුවැව ඛේදවාචකය

අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ නිවසක පවුල් ආරවුලක් මත පියා විසින් සිදුකළ ගිනි තැබීමකින් පියා සහ දියණිය මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

එසේම මෙහිදී ගිනි ගැනීමට ලක්වූ මව සහ තවත් දරුවන් තුන්දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අද (06) අලුයම 2ට පමණ මෙම ගිනිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පියා නිවසට ගිනි තබන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ දියණියන් දෙදෙනා, බිරිඳ සහ බිරිඳගේ මව පමණක් වන අතර, පිරිමි දරුවා සිද්ධිය සිදුවීමත් සමඟ එම ස්ථානයට පැමිණ ඇත.

පසුව මව සහ සහෝදරියන් බේරාගැනීමට යෑමේදී 20 හැවිරිදි පුත්‍රයා ද පිළිස්සුම් තුවාල ලබා ඇත.

ගිනි තැබීම සිදුකළ පුද්ගලයා නිතර මත්පැන් පානය කර බිරිඳට පහරදීම් සිදුකරන බවත් ඔවුන් අතර පවතින ආරවුල් හේතුවෙන් අවස්ථා කිහිපයකදී ගලෙන්බිඳුණුවැව පොලීසිය වෙත පැමිණිලි සිදුකර ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබුණා.