ග්‍රෑන්ඩ්පාස් සහ මරදානේ වෙඩි පත්තුවෙයි

ඊයේ රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහවත්ත – ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි, පොලිසිය සඳහන් කරන්නේ. ‍මරණයට පත්වූ පුද්ගලයා කැලණිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකු බවයි, පොලිසිය සඳහන් කළේ. වෙඩි තැබීම සඳහා රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් යොදා ගෙන ඇති බවට පොලිසිය සැක කරනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. ‍‍මේ අතර, අද අලුයම, මරදාන – පංචිකාවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ග‍ලයෙකුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා , ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඔහු, 44 හැවිරිදි පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මරදාන පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.