ගිනි නැටු­මෙන් උපන් සරාගී ගිනිසිළුව

හෙළ සිනමා වංශකතාව හාරපාදා බලන විට ඇයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. ඒ වික්ටොරියානු සදාචාරයත්, සිංහල බෞද්ධ සංස්කෘතික සදාචාරයත් ඉහවහ ගිය යුගයක සිය අඟපසඟ නොපැකිලිව ප්‍රදර්ශනය කරමින් නර්තනයේ යෙදීමට ඇය නොබියව පෙරට ආ නිසා පමණක්ම නොව ඇය එම සීමාව පසුකර සම්මානිත චරිතාංග නිළියක වූ නිසාය. සිනමාව යනුම සිහිනමය මායාවකි. ෆැන්ටසියකි. සාමාන්‍ය ජීවිතයේ අත්විඳිය නොහැකි එහෙත් කෙසේ හෝ එය අත්විඳිය හැකි නම්, විඳගැනීමට ආශා කරන මනෝභාවයකි. මේ සිහින මායාව තුළ අපේ අශ්ලීල ආශාවට තටුලැබෙන්නේ නම් එයම සැපයකි.

කොළඹ මැලේ වීදියේ උපත ලද ඩේන් එන්සි ෆරිනා ලායි 70 දශකයේ සිනමාවට එක් වූයේ ජනප්‍රිය ගිනි නැටුම් (FIRE LIMBO) ශිල්පිනියකව සිටියදීය. ඇය සිනමා රංගනයට අවතීර්ණ ණ වුයේ වයස අවුරුදු පහළොවක නව යොවුන් තරුණියක ලෙසය. ඒ එම්. වී. බාලන් අධ්‍යක්ෂක්ණය කළ‘මංජල් කුංකුමම්’ (1969) නම් වූ ලාංකේය දෙමළ චිත්‍රපටයෙනි. ඇය එහි දී ලිම්බෝ ගිනි නැටුමක් ඉදිරිපත් කළාය. එහෙත් ෆරීනා මුල්වරට සිංහල සිනමාවට එක් වූයේ ජේ. සෙල්වරත්නම් අධ්‍යක්ෂණය කළ 1970 වසරේ තිරගත වූ ‘ඔහහොම හොඳද’ සිනමාපටයෙනි. අනතුරුව හර්බට් රංජිත් පීරිස් සහ විමලදාස පෙරේරා එක්ව අධ්‍යක්ෂණය කළ 1974 දී තිරගත වූ ‘සැණකෙළිය’ සිනමා පටයට ඈ දායක වූවාය. ඒ එහි වූ කල්බ් නැටුම් ජවනිකාවක් සඳහාය. එකල ක්ලබ් නැටුම් දර්ශන සඳහා අඩනිරුවත් නර්තන ශිලිපිනියන් යෙදවීම අත්‍යවශ්‍ය අංගයක් විය. මේ අභියෝගය ෆරීනා නොපැකිලිව භාරගත්තේ ඒ වනවිටත් ඇය හෝටල්වල නර්තනයන් ඉදිරිපත් කළ ශිලිපිනියක වූ නිසාය.

බහ තෝරෙන වියේ සිටම කොළඹ වීථිවල කාවඩි භෙර හඬට නර්තනයේ යෙදුණු ෆරීනා පාසල් ගියද අධ්‍යාපනයට හිත යොමු කළ දක්ෂ දැරියක නොවූවාය. කොල්ලුපිටියේ ශාන්ත මරියා විද්‍යාලයේ සිප් සතර හැදෑරු ෆරීනාගේ ගති ගුණ හා හැසිරීම පිරිමි ළමයෙක් මෙන් වූවාය. දිනක් නිවසට පැමිණි ශාස්ත්‍රකාරියක ඇය ලිංග විපර්යාසයකට පත්ව පිරිමියකු බවට පත්වන බවත්; වැඩිවියට නොඑළඹී දහසය විය ඉක්ම වුවොත්; එය නිසැකයෙන්ම සිදුවන බවත් සපත කළාය. එහෙත් දහසය විය එළඹීමට වසරක් තියා ෆරීනා වැඩිවියට පත් වූවාය. පිරිමියකු වනවා යැයි කියූ ශාස්ත්‍රකාරියගේ මතය බොරු විය.

කුඩා කළ සිටිම චිත්‍රකර්මය විෂයට ඇළුම් කළ ද අසල නිවසක රේඩියෝවක් වාදනය වන හඬ ඇසුණු සැනින් ඇගේ ඇඟ නළියන්නට පටන්ගන්නේය. ඇය එතැනට පැමිණ නටන්නට පටන් ගන්නේය. මෙනිසා අසල්වාසීන් තම නිවසේ සාදයක් උත්සවයක් පැවැත් වුණහොත් පුංචි ෆරීනාට ආරාධනා කිරීමට අමතක නොකළාය. දිනක් එලෙස උත්සවයකට පැමිණි අයකු ෆරීනාට රුපියල් තුනක් දුන්නාය. ඇය ඉන් මහත් සතුටට පත් වූවාය.

ඇගේ මුල්ම නැටුම් ගුරුවරයා වූයේ ඇයට නෑකමින් මස්සිනා කෙනෙකු වූ රූපින් මාස්ටර්ය. දිනක් ෆරීනාගේ නැටුම් දුටු ගිනි නැටුම් සංදර්ශන ශිලිපියකු වූ රොනල්ඩ් ප්‍රනාන්දු ඇයට ගිනි නැටුම් පුහුණු කරන්නට කැමැත්ත පළ කළේය. නැටුමට දක්ෂ කොළු ගති ඇති තැනැත්තියක වුවද ෆරීනා ගින්දරට බිය විය. නමුත් ක්‍රමක්‍රමයෙන් ඇය ඊට හුරුවී ගිනි නැටුම් ශිලිපිනියක් බවට පත් වූවාය. ඇගේ පියාද ඈ ඊට උනන්දු කළාය. ඇය වයස දහසය ඉක්මවන විට ඉතාම වසඟකාරී ගිනි නැටුම් ශිලිපිනියක වූවාය. මෙනිසා ඇගේ අතට මුදල් ගලා එන්නට විය. එනිසා මෙතෙක් කලක් දුප්පත්ව සිටි ඇය ටිකෙන් ටික ධනවත් තරුණියක බවට පත් වූවාය. එහෙත් ඇය කිසිදා බලාපොරොත්තු පොදිබැඳගත් තරුණිය නොවූවාය. කාටවත් කරදයක් නැති බොහොම සැහැල්ලු ජීවිතයක් ගත කිරීම ඇගේ අපේක්ෂාව විය.

මේ අතරතුර ඇගේ ගිනි නැටුමක් දැකීමෙන් වශී වූ හර්බට් රංජිත් පීරිස් තම ‘සැණකෙළිය’ චිත්‍රපටයේ ‘ඉරෝමි බෙරෙන්’ නම් නාටිකාංගනාවගේ චරිතයට ඇයට ආරාධනා කළේය. (එම චරිතය හර්බට් රංජිත් පීරිස්ගේ සිතේ මැවී ඇත්තේ ෆරීනාගේ ගිනි නැටුම් දැකීමෙන් බව ඔහු වරක් පවසා තිබුණි.) එහෙත් ඈ ඊට බිය විය. කලින් ද්‍රවිඩ සිනමාපටයක ගිනි නැටුම් සන්දර්ශනයක් ඉදිරිපත් කර තිබුණද සමාජ ශාලාවක නර්තනයේ යෙදෙන නාටිකාංගනාවකගේ චරිතයක් රඟපාන්න පුළුවන්වේ යැයි ඈ විශ්වාස නොකළාය. තමන්ට නටන්න හැකි වුවත් රඟපෑමට නොහැකි යැයි ඇය සිතුවාය. එසේම වෘත්තිය නිළියක වීමේ බලා පොරොත්තුවක් හෝ ආශාවක් ඇය තුළ නොවීය. නමුත් ඈ තුළ වූ ඒ අනවබෝධය නැති කිරීමට අයකු ඉදිරිපත් විය. ඒ පසුකලෙක හෙළ සිනමාවේ සක්විති නමින් විරුදය ලැබූ ගාමිණි ෆොන්සේකාය. ඔහු ඇය තුළ ආත්ම විශ්වාසය ගොඩනැඟීය. මෙනිසා ඉතා සාර්ථක නෘත්‍යංගයක් ඉදිරිපත් කිරීමට ඕ සමත් වූවාය.

වරක් මේ පිළිබඳ පුවත්පත් කලා වේදියකු විමසූ විට ෆරීනා පවසා සිටියේ “ මාව නිළියක් කළේ ගාමිණි ෆොන්සේකා මහත්මයයි. ඒක මට අද වුණත් කටක් ඇරල කියන්න පුළුවන්. ඔහු වැනි නළුවකු මගේ මුල්ම චිත්‍රපටයේදීම හමු නොවෙන්න ෆරීනා ලායි කියල නිළියක් හමු නොවෙන්න ඉඩ තිබුණා. එහෙම වුණා නම් මා සීමිත මිනිසුන් පිරිසක් පමණක් දන්න නැටුම් ශිලිපිනියක පමණක් වෙන්න තිබුණා. මමත් හෝටලයෙන් හෝටලයට නැටුම් සංදර්ශන ඉදිරිපත් කරමින් ගමන් කරාවි. නමුත් ගාමිණී හමුවීමෙන් පසු සිනමා නිළියක ලෙස මගේ දෛයිවය ලියැවුණා. ” කියා ය. ඒ ෆරීනා සිනමාවට පැමිණීමට ප්‍රථම රාත්‍රී සමාජ ශාලාවල වෘත්තීය නර්තනය ශිල්පිනියක ලෙස ද සේවය කරමින් සිටි නිසාය.

එදා චිත්‍රපටවල සුන්දරත්වය වඩාත් තීව්‍ර වීමට එහි තිබූ ගීත බෙහෙවින් ඉවහල් විය. එසේම ඒ චිත්‍රපටවල රඟපෑ ගාමිණී, මාලනී, විජය, රෝයි, රොබින්, ආදී ජනප්‍රිය නළු නිළියන් ගැන කියැවෙද්දී තවත් නමක් නිතැතින්ම කියැවිමට පටන් ගෙන තිබුණි. ඒ ‘ෆරිනා ලායි’ ඇගේ මන බඳින නර්තනය දැක ගැනීමට ප්‍රේක්ෂකයින් ආශා කළෝය. ‘සැණකෙළිය’ චිත්‍රපටයෙන් පසු බොහෝ චිත්‍රපටවල සමාජ ශාල දර්ශනයක් වී නම් එය ෆරීනාගෙන් ඈතට නොගියේය. ඇගෙන් වෙනස්ම සහ ඉතා දියුණු නර්තන ශෛලිය ඊට හේතු වී තිබුණි. මෙලෙස සිංහල සිනමාවේ ගිනි සිළුවක් වූ ඩේන් එන්සි, අනතුරුව ෆරීනා ලායි නමින් ජනප්‍රියත්වයට පත්විය. එවකට, ඉන්දීය සිනමාවේ සිනමා නර්තනයෙන් හිනි පෙත්තේ සිටි හෙලන් නම් ශිල්පිනියව, ෆරීනා ලායිට සමකෙරිණි. ඒ වන විට ඇය සමකාලීන ශිල්පිනියන්ට වඩා නර්තනයෙන් ඉදිරියෙන් සිටියාය. ඈ පෙනී සිටින , ගීතයක දී හෝ නර්තනයක දී සෑම රූප රාමුවකම වූයේ නර්තනකාරී ලාලිත්‍යයකි.

බොහෝවිට ඇය මේ නිර්මාණවලට දායක වූයේ නර්තනය පමණක් සඳහාය. නොඑසේ නම් සුළු භූමිකාවලටය. ඒ අතර උප ප්‍රධාන චරිත ද විය. ඇතැම් චරිත කළුය. ඇතැම් ඒවා පෙනී සිටීමක් පමණි. එකල බොහෝ රංගන ශිල්පීන් , ශිල්පිනියන් සිනමා ක්ෂේත්‍රයට පැමිණෙන්නේ, රංගනය හැදෑරීමෙන් හෝ ඒ ගැන දැනුවත්භාවයකින් නොවේ. ඒ සඳහා එවකට රංගනය පුහුණුවන ස්ථාන නොතිබුණු තරම්ය. සිනමාවට පැමිණෙන ඇතැම් ශිල්පීන් වේදිකා නාට්‍ය කලාව හරහා පැමිණ තිබූ අතර ඇතැම් ශිල්පීන් සිනමාවට පැමිණි පසු රංගනය ගැන අවබෝධ කරගත් අය වූහ. ෆරීනා ලායි ද ක්ෂේත්‍රයට පැමිණි පසු සිනමාව සහ එහි රංගනය ගැන අවබෝධකරගත් තැනැත්තියක වූවාය. ෆරීනා බෙහෙවින් නිදහස් කාමී යුවතියක වූවාය. ඇය කොළඹ පුරා සැරිසැරුවේ හැසිරුනේ ඇගේ අභිමතය පරිදිය. මෙනිසා ඇයට නැට්ටිච්චියක යැයි කියූ වාර අනන්තය. එහෙත් ඒ කිසිදු අවමානයකට ඈව නතර කරන්නට නොහැකි වූවාය.

චිත්‍රපට රැසකම නැටුම් ජවනිකාවල පෙනී සිටි ෆරීනාගේ රංගන දිවිය නව හැරවුම් ලක්ෂයකට ගෙන යැමට නැවතත් ගාමිණි ඉදිරියට ආවේය. ඒ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ‘උතුමාණෙනි’ චිත්‍රපටයේ ප්‍රධාන නිළියන් දෙදෙනාගේ එක් චරිතයකට ඈයව තෝරාගැනීමත් සමඟය. එහි වූ ‘පුෂ්පා’ නම් චරිතය තුළින් ඇයි සදා නොමැකෙන ප්‍රතිභාවක ප්‍රකට කළාය.

තිලක් වේහැල්ල අධ්‍යක්ෂණය කළ 1983 තිරගත වූ ‘රතු මකරා’චිත්‍රපටය ද ෆරීනා ප්‍රධාන චරිතය නිරූපණය කළ චිත්‍රපටයකි. ඇය එහි රඟපෑවේ සටන් නළු රොබින් ප්‍රනාන්දු සමඟය.

ඇය රිදී තිරයේ බොහෝවිට දුටුවේ බටහිර අනුකරනයෙන් ආඪ්‍ය වූ නාගරික සෙල්ලක්කාරී කාමුක යුවතියක ලෙසය. ඇය එකී චරිත නිරූපණයෙන් මිදී ගැමි ලියක ලෙස මුලින්ම රසික සිත්සතන් පැහැර ගත්තේ ‘ නිල්ල සොයා’ චිත්‍රපටියෙනි. එහිදී ඇය රෙද්ද හැට්ටය හැඳි සුරූපි ගැමි ස්ත්‍රියක ලෙස අප හමුවට ආවාය. අනතරුව ඊට හාත්පසන් ම වෙනස් චරිතයක් ‘සාජා’ චිත්‍රපටයේ පණපෙව්වාය. එහිදී ඕ මෝටර් රථ දාවන ශූරයකුට පෙම්බඳින තරුණියක වූවාය. ඉන් අනතුරුව චිත්‍රපට ගණනාවක විවිධ චරිත නිරීපණ කළ ෆරීනා ‘සරුංගලේ’ චිත්‍රපටයේ ඈ එතෙක් රඟපෑ සියළු චිත්‍රපටලට හාත්පසින්ම වෙනස් චරිතක් රඟපෑවාය. ඒ ‘තංගමනී’ නම් නීතියෙන් පිහිටක් නොලද අහිංසක අසරණ ස්ත්‍රියක ලෙසය. අවසානයේ ඇගේ පෙම්වතාද ඇයට අහිමි වන අතර, ඇයට ඉතිරි වන්නේ ඇගේ එකම සහෝදරයාගේ (ගාමිණි ෆොන්සේකා) සෙනෙහස පමණි.

මෙම සිනමාපටනේ අනතුරුව ඇය ඉන්දිය ලංකා හවුල් නිෂ්පාදනක් වූ ‘නැංගුරම්’ හී ප්‍රකට ඉන්දියානු චිත්‍රපට නිළියක වූ සාවිත්‍රි සමඟ ප්‍රධාන චරිතයකට පණපෙව්වාය.

1981 වසරේදී ඇයට, ‘උතුමාණනි’ සිනමාපටයේ රංගනය වෙනුවෙන් ජනාධිපති සිනමා සම්මාන උළලේ දී කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවාය. අනතුරුව මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘සරුංගලේ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වූ ‘තංගමනී’ චරිතය වෙනුවෙන් ද ෆරීනා තොරාගනු ලැබුවාය. 1980 වසරේ සරසවි සිනමා සම්මාන උළලේ හොඳම සහාය නිළිය වූයේ ෆරීනා ලායි ය. ඒ ‘සරුංගලය’ සිනමාපටයේ ඉදිරිපත් කළ රංගනය වෙනුවෙනි. එම වසරේ පැවැති ඕ. සී. අයි. සී. සිනමා උළලේ දී ද එකී රංගනය වෙනුවෙන්, සජීවි කුසලතා සහභාගිත්වය වෙනුවෙන් ඇය ඇගයීමට පාත්‍ර විය. එහි හේතුපාඨය මෙසේ විය. “සිය චරිත නිරූපණය සතු විශ්වාසනීය බව තුළින් ප්‍රේක්ෂක සභානුභූතියක් ජනිත කරවන රංගනයක යෙදීම උදෙසාත්, තමන්ට අතිශයින්ම ආගන්තුක ජීවන ශෛලියක් සතු ගැඹුරු ධ්වනිතාර්ථ තියුණු ලෙස අවබෝධ කොට ගැනීම උදෙසාත්, 1979 වර්ෂයේ සජීවි සිනමාත්මක කුසලතා සහභාගිත්වය සඳහා සම්මානය පිරිනැමෙන්නේ, සරුංගලේ චිත්‍රපටයේ ‘තංගමනින්ගේ වරිතය රඟපා ෆරීනා ලායිටය.’

එසේම 1980 වසරේ ජනාධිපති සිනමා සම්මාන උළලේ දී ද ‘සරුංගලේ’ සඳහා කුසලතා සම්මානයෙන් ෆරීනා පිදුම් ලැබුවාය. අනතුරුව 1981 වසරේ තිරගත වූ ලාල් පෙරේරා විසින් අධ්‍යක්ෂණය කළ ‘තවලම’ චිත්‍රපටයේ අහිකුණ්ඨික යුවතියක් වූ ‘සන්ධානා’ චරිතයටද ෆරීනා තෝරාගනු ලැබුවාය. ඇය එම අහිකුණ්ඨික යුවතියගේ චරිතයද මැනවින් නිරූපණය කළාය. ඒ රංගනය වෙනුවෙන් 1982 වසරේ ජනාධිපති සිනමා සම්මාන උළලේ දී කුසලතා සම්මානයට පාත්‍ර වූවාය.

“ ‘තවලම’ චිත්‍රපටයේ ‘සන්ධානා’ ලෙස රඟපාද්දී ගාමිණි ෆොන්සේකා මට ගොඩක් උදවූ කළා. ඒ චිත්‍රපටයේ මං හුඟක්ම ආසා කරන්නේ පොල්කටු විනාව වයමින් “පෙම්බර ස්වමී ” කියමින් ගීතය ගයපු ජවනිකාවටයි. ඒ ජවනිකාව දවස් තූනක් තිස්සේ රූගත කළා. දයා රාජපක්ෂ ගේ තවලම චිත්‍ර කතාව බලද්දී මම ‘සන්ධානා’ අභිකුණ්ඨික චරිතය හදවතින්ම වැලඳගෙනයි හිටියේ. මේ අහිංසක යුවතීගේ චරිතය මට රඟපාන්න කවදහරි ඇත්තම්. කියලා මම සිහින මැව්වා. ඒ සිහිනය හැබෑ වුණා. ” යැයි ෆරීනා වරක් පුවත්පතකට පවසා තිබුණි.

ෆරීනා ලාංකික දෙමළ සිනමාවේ තරුවක් ව පසු කලෙක දේශපාලනයට ද පිවිසි වී.පී. ගනේෂන් සමඟින් විවාහ වූවාය. ඒ සමඟම ඕ සිනමා දිවියට සමුදීමට තීරණය කළාය. ඒ විවාහ ජීවිතයත් සිනමා දිවියත් එකට ගෙනියන්න අමාරු යැයි ඇය කල්පනා කළ නිසාය. ඒ අනුව ඈ ගිවිසුම් අත්සන් කළ හා පොරොන්දු වූ චිත්‍රපටවල පමණක් රංගනයෙන් දායක වී සිනමාවෙන් ඉවත් වීමට කටයුතු කළාය.

ෆරීනා ලායි, පෙලහර පෑ සිංහල සිනමාපට අතර 1970 ඔහොම හොඳද : 1972 සුජීවා: ලොකුම හිනාව: 1973 සදහටම ඔබ මගේ; හොඳයි නරකයි; දහකින් එකෙක්: 1974 දිනුම් කණුව: සුරේඛා: ශාන්ති; සුසී. ඔන්න බබෝ බිල්ලෝ එනවා; සාගරිකා: සැණකෙළිය. ජීවන ගංගා දුප්පතාගේ හිතවතා; ළසඳා; 1975 හිත හොඳ මිනිහෙක් පුදිය කාරු: කෝකිලයෝ:සධානා; සංගීතා: 1976 දියමන්ති; හාරත හතර; ලෝක හොරු: ආශා; නිල්ල සොයා: 1977 සුදු පරෙවියෝ: චිං චිං නෝනා; යළි ඉපිදේ; සජා: ටොම් පචයා; නිවෙන ගින්න: 1978 සිරි පතුල: ආශා දෑසින්; අප්සරා; 1979 සමන් මලී; මිනිසුන් අතර මිනිසෙක්; සරුංගලේ; පොඩි මල්ලී, නුවන් රේණු: 1980 මල් කැකුළු; උතුමාණෙනි; සිල්වා; නෙන්ජුක්කු නිදි; නංගුරම්; අවල් ඔරු ජීව නදී: 1981 තවලම: එක් දවසක් රෑ; චංචල රේඛා: 1982 ජීවිතයෙන් ජිවිතයක්; 1983 නිළියකට පෙම් කළෙමි; රතු මකරා; හිතත් හොඳයි වැඩත් හොඳයි 1984 මාල ගිරවි; 1985 ආදර කතාව; පුතුනි මට සමාවන්න : 1991 අලිබබා සහ හොරු හතළිහ : 1996 සීමා පවුරු මෙන්ම ෆරිනාගේ රංගනයෙන් ඔප වූ ලාංකේය දෙමළ චිත්‍රපට අතර ‘පුදිය කාරු’ (1975), ‘නෙන්ජුක්කු නිධි’ (1980). ‘නංගුරම්’ (1980), ‘අවල් ඔරු ජීව නදී’ (1980) චිත්‍රපට වේ.

චිත්‍රපට රසික රසිකාවයන් අතර සදා නොමැකෙන නමක් සටහන් කළ ෆරීනා ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැඟ සිටියදී හිටි හැටියේම නිශ්ශබ්ද වූවාය.

ඇය මේ වන විට අසූදෙවන වියේ පසුවන්නීය.