තුර්කියේ එස්කිසෙහීර් පළාතේ හටගත් ලැව් ගින්නක් නිවමින් සිටි ගිනි නිවන භටයින් සහ ස්වේච්ඡා සේවකයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
දැඩි උණුසුම සහ තද සුළං හේතුවෙන් තුර්කියේ ලැව්ගිනි පැතිරීමේ අවදානමක් ඇති වී තිබෙන බවටයි වාර්තා වන්නේ.
අඟහරුවාදා උදෑසන හටගත් මෙම ලැව් ගින්න තද සුළං ප්‍රවේශ හේතුවෙන් වර්ධනය වී තිබුණා.
එම ලැව් ගින්න නිවීමට යොදා සිටි ගින නිවන භටයින් සහ “අකුට්” රාජ්‍ය නොවන සංවිධානයට අයත් ගලවා ගැනීමේ ස්වේච්ඡා සේවකයින්, සුළං ප්‍රවේශය සහ දිශාව ක්ෂණිකව වෙනස් වීම හේතුවෙන් ගින්නට අසුවී තිබෙනවා.
ඔවුන් වටා ලැව් ගිනි වර්ධනය වීමත් සමඟ ගිනි නිවන භටයින්ට එයින් පැන යාමට නොහැකි වී තිබුණා.
වෙනත් ගිනි නිවන කණ්ඩායම් පැමිණ 24 දෙනෙකු රෝහල් ගත කෙරුණද 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව තුර්කි සෞඛ්‍ය නිලධාරීන් පවසනවා.
තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොගන් මියගිය ගිනි නිවන බටයින්ට සිය ශෝකය පළ කර තිබෙනවා.
මේ වනවිට තුර්කියේ පළාත් පහක ලැව්ගිනි හටගෙන තිබෙනවා.
කාලගුණ බලධාරීන් පවසන්නේ අධික රස්නය මෙයට හේතුව බවයි.
මේවනවිට තුර්කියේ පවතින්නේ දැඩි උණුසුම් කාලගුණයක්. බොහෝ ස්ථාන වල සෙල්සියස් අංශක 40ට වඩා උෂ්ණත්වයක් වාර්තා වනවා.
මෙම ආන්තික කාලගුණ තත්වයන් දේශගුණික විපර්යාස නිසා සිදුව ඇති බවයි කාලගුණ විද්‍යාඥයින් මත පල කරන්නේ.
