ගුවන් ගමන් නවතියි… සෙනඟ පිරෙයි

එක්සත් ජනපදයේ රාජ්‍ය ආයතන සඳහා මූල්‍ය සම්පාදන ක්‍රියාවලිය අකර්මන්‍ය වීම හේතුවෙන් හටගත් අයවැය අර්බුදය හමුවේ එරට ගුවන් ගමන් කපාහැරීම දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.

මේ වනවිට ගුවන් ගමන් 1,400 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

ෆෙඩරල් රජයේ වසා දැමීමත් සමඟ මෙම සතිය තුළ එක්සත් ජනපද ගුවන් ගමනාගමනය අවම කරන ලෙස එරට ගුවන් සමාගම් වෙත දැනුම් දීමෙන් පසු එක්සත් ජනපදය වෙත සහ ඉන් පිටතට හෝ අභ්‍යන්තර ගුවන් ගමන් 1,400කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

තවත් ගුවන් ගමන් රැසක් ප්‍රමාදයට ලක්ව ඇති අතර ඉකුත් සිකුරාදා ගුවන් ගමන් 7,000කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාදයට ලක්ව තිබුණා.

ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් මෙම සතිය මුලදී නිවේදනය කරනු ලැබුවේ, රජයේ වසා දැමීමේ ක්‍රියාවලිය හමුවේ වැටුප් නොමැතිව සේවය කරන ගුවන් ගමනාගමන පාලකවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් එරට කාර්ය බහුලම ගුවන් ‍තොටුපොළ 40 ක ගුවන් ගමන් ධාරිතාව සියයට 10 දක්වා අඩු කිරීමට සිදුවන බවයි.

ඉකුත් ඔක්තෝබර් මස පළමු වැනිදා ආරම්භ වූ රජයේ වසා දැමීම තවදුරටත් ක්‍රියාත්මක බැවින්, එරට ගුවන් තොටුපොළ ක්‍රියාකාරීත්වය ද අර්බුදයට ලක්වීම හේතුවෙන් ගුවන් මගීන් රැසක් දැඩි පීඩාවකට ලක්ව සිටින බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.