හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවා තිබූ බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1590 ක් පාඩු වූ බව පවසමින් ඉකුත් රජය සමයේ වත්මන් අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන වසරේ ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර සිටින මුදල් අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට මෙම පෙත්සම සම්බන්ධයෙන් දැනුම් දීමේ නොතීසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කර පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළා.
මෙම පෙත්සම අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමය වර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයේ වග උත්තරකරුවන්ගේ තනතුරුවල වෙනසක් සිදුවී ඇති බැවින් එය සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට අවසර ලබාදුන් අධිකරණය මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස නියෝග කළා.
අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ,ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති වරයා, පිරමීඩ් විල්මා පෞද්ගලික සමාගම, එහි අධ්‍යක්ෂ සජාත් මවූසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා, සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.
පෙත්සම්කරු කියා සිටින්නේ දේශීය සීනි නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා 2020 වසරේ දී ආනයනික සීනි සදහා රුපියල් 50/- ක බද්දක් පැනවූ අතර පසුව එම බද්ද ශත 25 ක් දක්වා අඩු කෙරුණු බවයි.
මෙසේ බද්ද අඩු කිරීමෙන් ලැබෙන සහනය පාරිභෝගිකයින්ට නොලැබුණු බවත් එය වග උත්තරකාර සමාගම් විසින් අත්පත් කර ගැනීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබුණා.
මෙසේ බදු අඩු කිරීම නිසා රජයට අහිමි වූ රුපියල් කෝටි 1590කට අධික මුදල යලි අය කරගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
