චෙක් ජනරජයෙන් යුක්‍රේනයට කිසිඳු මූල්‍ය ආධාරයක් නැහැ

චෙක් ජනරජය යුක්‍රේනයට කිසිදු මූල්‍ය ආධාරයක් ලබා නොදෙන බව එරට අගමැති ඇන්ඩ්‍රෙජ් බබිස් පවසනවා.

ඔහු කියා සිටින්නේ යුක්රේනයට අරමුදල් සැපයීමට යුරෝපා සංගමය වෙනත් ක්‍රම සොයා ගත යුතු බවයි.

ඇන්ඩ්‍රෙජ් බබිස් පසුගිය සතියේ චෙක් ජනරජයේ අගමැතිවරයා ලෙස ලෙස තේරී පත් වුණා.

චෙක් ජනරජයට නව මූල්‍ය යෝජනා ක්‍රමවලට සහභාගී වීම ශක්තියක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ පළ කරන ලද වීඩියෝවක් මගින් අගමැතිවරයා පැවසුවේ, තහනම් කළ රුසියානු වත්කම්වලට සම්බන්ධ ලාභ භාවිත කරමින් යුක්රේනයට අරමුදල් සැපයීමේ යුරෝපා සංගමයේ සැලැස්මට තමා විරුද්ධ බවයි.

යෝජිත සැලැස්මට අනුව යුරෝපා සංගමය තුළ ඇති ඩොලර් බිලියන 200 ක් වටිනා රුසියානු වත්කම් භාවිත කරමින් යුක්‍රේනයට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට නියමිතයි.

චෙක් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම සැලැස්ම මගින් චෙක් ජනරජයේ ප්‍රාග් අගනුවරට ඩොලර් බිලියන 4.3 ක් පමණ වැය විය හැකි බවයි ඔහු පවසන්නේ.

එම බර රටට භාර ගත නොහැකි බව අගමැතිවරයා අවධාරණය කරනවා. යුරෝපීය සංගමය රුසියානු වත්කම් තහනම් කිරීම දීර්ඝ කිරීම සඳහා වන නව නීති පසුගියදා අනුමත කරනු ලැබුවා.

මීට සාමාජික රටවලින් විවේචනද එල්ල වුණා. හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් කියා සිටියේ මෙම තීරණය නීති විරෝධී බවයි.