ජනපතිගේ කම්කරු දින පණිවුඩය

පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්වන්නැයි, ජනාධිපති ‍අනුර කුමාර දිසානායක මහතා වැඩකරන ජනතාවට ආරා‍ධනා කරනවා.

ඒ, ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්.

මෙරට වැඩකරන ජනයා ප්‍රමුඛ පොදු ජනතාව, මෙවර අන්තර්ජාතික කම්කරු දිනය සමරන්නේ, දූෂිත ප්‍රභූ දේශපාලනය අවසන් කර, ජනතාවාදි පාලනයක් තුළ රටත් , සමාජයත්, ගැඹුරු සාධනීය පරිවර්ථනයකට ලක්කරමින් තිබෙන අවස්ථාවකයි.

පවුල් සහ පරම්පරා කිහිපයක් 76 ක් වසරක් තට්ටුමාරු ක්‍රමයට ගෙන ගිය දූෂිත පාලනය නිමකර, දේශපාලනයේ සුවිශේෂි හැරවුමක් සටහන් කිරීමට ඉකුත් ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී මෙරට සිව් දෙස ජනතාව ක්‍රියා කළ බව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ලෝක කම්කරු දින පණිවුඩයේ සඳහන්.

එම ජන වරමේ අපේක්‍ෂා සාක්ෂාත් කරමින්, රට, ආර්ථික, සමාජීය සහ දේශපාලන වශයෙන් පුළුල් පරිවර්ථනයකට ලක්කිරීමට ජාතික ජනබලවේගය කටයුතු කරමින් සිටින බවයි, ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

දූෂිත ප්‍රභූ දේශපාලන ක්‍රමය තුළ විනාශකර තිබූ මෙරට ආර්ථිකය යළි ඉහළට ඔසවමින්, ස්ථාවර ආරම්භයක් ලබා ගැනීමට සමත්ව සිටින බවද, ජනාධිපතිවරයාගේ නිවේදනයේ සඳහන්.